වරාය සේවකයා ඝාතනය කළ මිතුරා වසර 6කට පසු මාට්ටු | දිනමිණ

වරාය සේවකයා ඝාතනය කළ මිතුරා වසර 6කට පසු මාට්ටු

වසර හයකට ආසන්න කාලයක් අබිරහසක්ව තිබූ මනුෂ්‍ය ඝාතන සිද්ධියකට සම්බන්ධ එකම කාමරයේ නිදාගත් එකට රැකියාව කරන එකම ගමේ පදිංචි මිතුරා වන සැකකරුවකු පසුගියදා (21) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.

2016-12-08 වැනි දින අලුයම් කාලයේ කොළඹ වරායේ ජේසීටී අංක 01 හා 02 සුළු සේවකයන්ගේ විවේකාගාරය තුළ ඇති වූ ගින්නකින් එහි සේවය කළ අංක 155/01 වැල්ලවීදිය පාර, කැලණිය ලිපිනයේ පදිංචි තිදරු පියකු වන වගපේඩිගේ චමිල් නුවන් ජයතිලක (31) මියගිය අතර එම සිද්ධියේ විමර්ශන කටයුතු වෙරළබඩ පොලිසිය මඟින් සිදු කෙරිණි.

මූලික විමර්ශනයේදී මෙය ඝාතනයක් බවට අනාවරණය වූ අතර නොවිසඳුණු අපරාධයක් ලෙස පැවති මෙම සිද්ධියේ විමර්ශන කටයුතු කොළඹ දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති නියෝගයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පැවරිණි. ඇසින් දුටු සාක්ෂි කිසිවක් නැතිව පර්යවේක්ෂණ සාක්ෂි හා විමර්ශකයන්ගේ දීර්ඝ ප්‍රශ්න කිරීම් මත එම ඒකක 06හි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක ඇතුළු නිලධාරින් විසින් මෙම ඝාතනයේ සුල මුල අනාවරණය කර ගැනීමට කටයුතු කර තිබිණි.

මෙම විවේකාගාරය සුළු සේවකයන් විවේකයෙන් පසුව නිදා ගැනීම සඳහා යොදා ගන්නා අතර සිද්ධිය වූ දින මිය ගිය චමිල් නුවන් ජයතිලක හා සැකකරු සමඟ තවත් මිතුරකු රාත්‍රී 11.00ට පමණ නින්දට ගොස් ඇති බව අනාවරණය වී තිබේ. නිදා ගැනීමට පෙර මිතුරා විසින් කාමරයේ දොර වසා දැමීමටද කටයුතු කර තිබේ. මරණකරු නිදා සිටි ස්ථානයට මීටර් දෙකක පමණ දුරකින් සැකකරු මදුරු දැලකින් ආවරණය කළ ඇඳක නිදාගෙන සිට ඇති අතර අලුයම් කාලයේ ගිනි සැර වැදීම හේතුවෙන් මිතුරා අවදි වී බලන විට දොර තිබී ඇත්තේ විවෘතවය. ඔහු ඉන් පිටතට ගිය අවස්ථාවේ දැක ඇත්තේ සැකකරු ඔවුන්ගේ කාමරයට ඉදිරිපස කාමරයේ සිටි පුද්ගලයකු සමඟ විවේකාගාරය පිටත සරම ගැට ගසමින් සිටින බවය.

මේ හේතුවෙන් අනාවරණය වී ඇත්තේ ගින්න ඇති වූ අවස්ථාවේ පළමුවෙන්ම පිටතට පැමිණ ඇත්තේ සැකකරු බවය. එහෙත් ගින්නෙන් මදුරු දැල පිලිස්සී උණු වන ඉටි ඔහුගේ ශරීරයට වැටී නොතිබීම විමර්ශකයන්ගේ අවධානයට යොමු වූ කරුණකි. එමෙන්ම මිතුරා ගින්නෙන් බේරීමට එළියට පැනීමේදී වම් අත යකඩ ඇඳෙහි ගැටී ඔහු පිලිස්සුම් තුවාල ලබා ප්‍රතිකාර ලබාගෙන ඇති අතර සැකකරුට කිසිදු පිලිස්සුම් තුවාලයක් නැතිව එවැනි විශාල ගින්නකින් බේරීමට හැකි වීම පොලිසියේ සැකය තීව්‍ර කිරීමට හේතුවක් වී තිබේ. එමෙන්ම ඔහුගේ රුපියල් 15,000ක් සහිත මුදල් පසුම්බිය හා ජංගම දුරකතනයද ගින්නට හසු නොවී බේරාගෙන ඇති අතර ඔහු පවසා ඇත්තේ ඔහුගේ ලාච්චුවේ තිබූ එම දේපොළ කිසිවකු විසින් ඔහුට ලබා දුන් බවය. එහෙත් එම විවේකාගාරයේ ලාච්චු, වෙන් වෙන්ව හඳුනාගත හැකි කිසිදු ක්‍රමවේදයක් නැති බැවින් තහවුරු වී ඇත්තේ කිසිවකුටත් ඔහුගේ දේපොළ නිවැරදිව පිටතට ගැනීමට නොහැකි බවය.

සැකකරු ඇඳ සිටි සරමට පෙට්‍රල් එකතු වී තිබීමද මෙම විමර්ශනය තහවුරු කර ගැනීමට ලබා ගත් ප්‍රබල සාක්ෂියකි. රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාවට අනුව සැකකරු ඇඳ සිටි සරමේ තිබූ පෙට්‍රල් සාම්පල අපරාධය වූ ස්ථානයෙන් සොයාගත් පෙට්‍රල් සාම්පල් හා සැසඳී තිබීමත් මෙම අපරාධය ඔහු විසින් සිදු කළ බව ඔප්පු කිරීමට ප්‍රබල සාක්ෂියක් වී තිබේ. එමෙන්ම චමිල් නුවන් ජයතිලක ගින්නෙන් මිය ගිය බව ඔහු දැක නොතිබීමද අවමංගල්‍ය සඳහා සහභාගි නොවීමද යන කරුණු මෙම ඝාතනයට සැකකරු ඍජුවම සම්බන්ධ බවට පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක විසින් අනාවරණය කරගෙන තිබිණි.

මේ අනුව මනුෂ්‍ය ඝාතනය, මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබල දීම සාක්ෂි අතුරුදන් කරවීම හෝ වරදකරු අනාවරණය කිරීම සඳහා එය පිළිබඳ අසත්‍ය තොරතුරු සැපයීම යන චෝදනා සැකකරුට විරුද්ධව ඇති චෝදනා වේ.

මෙලෙස අත්අඩංගුවට පත් වූයේ කැලණිය පදිංචි 46 හැවිරිදි පුද්ගලයකු වන අතර ක්ෂණික කෝපය මත මෙම අපරාධය සිදු කර ඇති බව අනාවරණය වී තිබේ. සැකකරු අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (22) ඉදිරිපත් කිරීමෙන් පසු අප්‍රේල් 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කළේය.

කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ නෙවිල් ද සිල්වා, සහකාර පොලිස් අධිකාරි පාලන ගොඩගේ, වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බන්දුතිලක යන මහත්වරුන්ගේ අධීක්ෂණය හා උපදෙස් මත විමර්ශන ඒකක 06 ස්ථානාධිපති දුමින්ද ජයතිලක, උප පොලිස් පරීක්ෂක මහේෂ්, සැරයන්වරුන් වන (14156) ජයන්ත, (1863) අජිත්, කොස්තාපල්වරුන් වන (91402) විජේසිරි, (11800) අමරසේන, (100124) රන්දික, (100135) ජයසිංහ, (100173) බණ්ඩාර, (104482) චමිල්, පො.කො.රි. (96537) විජේරත්න යන නිලධාරීහු විමර්ශන සිදු කළහ.

 

හල්තොට සමූහ - විනිතා මානෙල් ගමගේ සහ බණ්ඩාරගම - බිමල් ජයසිංහ

නව අදහස දක්වන්න