විශ්‍රාමික පොලිස් ලොක්කාට බැණ තර්ජනය කළ SI-සැරයන් සොයා විමර්ශනයක් | දිනමිණ

විශ්‍රාමික පොලිස් ලොක්කාට බැණ තර්ජනය කළ SI-සැරයන් සොයා විමර්ශනයක්

පොලොන්නරුව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙස සේවයේ නිරතව සිටියදී වයස අවුරුදු 60 සම්පූර්ණ වීම හේතුවෙන් පසුගිය 18 වැනිදා විශ්‍රාම ගිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වා මහතාට දුරකතන ඇමතුම් දෙමින් බැණ තර්ජනය කළ පොලිස් නිලධාරීන් දෙදෙනකු සම්බන්ධයෙන් නිට්ටඹුව පොලිසිය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට මෙම තර්ජනය කිරීම් කර ඇත්තේ පසුගිය 19 වැනිදා ඔහුගේ උපන් දිනය සමරමින් තිහාරියේ උත්සව ශාලාවක සාදයක් පැවැත්වෙමින් තිබියදී බව පොලිසිය කියයි.

ඉන්දික ද සිල්වා මහතා නිට්ටඹුව පොලිසියට පෙරේදා (21) කර ඇති පැමිණිල්ලට අනුව එදින ඔහුට තර්ජන එල්ලවී ඇත්තේ ඔහුගේ පුද්ගලික ජංගම දුරකතනයටය.

මෙසේ ඔහුට තර්ජනය කර ඇතැයි පැවසෙන්නේ මොනරාගල පොලිස් කොට්ඨාසයේ දැනට සේවයේ නිරතව සිටින උපපොලිස් පරීක්ෂකවරයකු සහ අනුරාධපුර කොට්ඨාසයේ සේවයේ නිරතව සිටින පොලිස් සැරයන්වරයෙකි.

පොලොන්නරුව කොට්ඨාස භාර පොලිස් ප්‍රධානියා ලෙස ඉන්දික ද සිල්වා මහතා සේවය කිරීමට පෙර ගම්පහ කොට්ඨාසය භාර පොලිස් ප්‍රධානියා ලෙස සේවයේ නිරතව සිටියේය. ඉන්දික ද සිල්වා මහතාට තර්ජනය කරමින් ඇමතුම් දුන් බව කියන පොලිස් නිලධාරීන් දෙදෙනා එකල සේවයේ නිරතව සිට ඇතැයි කියැවෙන්නේ ගම්පහ පොලිස් කොට්ඨාසය තුළය. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට ඉතා සමීපව සේවය කළ අය බව කියැවෙන මෙම නිලධාරීන් දෙදෙනා මෙසේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විශ්‍රාම ගැනීමෙන් අනතුරුව තර්ජනය කරනු ලැබුවේ ඇයි දැයි පුළුල්ව සොයා බැලීමක් කරන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

ගයාන් කුමාර වීරසිංහ සහ වේයන්ගොඩ විශේෂ

නව අදහස දක්වන්න