IMF එකඟතාව ගැන විවාදය ඇරඹීමට ආණ්ඩුව තීරණය කරයි | දිනමිණ

IMF එකඟතාව ගැන විවාදය ඇරඹීමට ආණ්ඩුව තීරණය කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතාවන් සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22) සිදු කළ විශේෂ ප්‍රකාශය පිළිබඳ විවාදය ඊයේ (22) සිටම පැවැත්වීමට ආණ්ඩුව තීරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ ප්‍රකාශය අවසන් වීමෙන් පසුව නැඟීසිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියේ මේ සම්බන්ධයෙන් පුළුල් පාර්ලිමේන්තු විවාදයක් අවශ්‍ය බවයි. විවාදය ලබා දෙනතෙක්, ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් යම් අදහස් දැක්වීමක් සිදු කිරීමට යම් කාල වේලාවක් අවශ්‍ය බවත් මේ සම්බන්ධයෙන් සිදු කරන අදහස් දැක්වීමට සවන් දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිදු කළ එම ප්‍රකාශයෙන් පසුව නැඟීසිටි සභානායක, අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා සඳහන් කළේ එම විශේෂ ප්‍රකාශය සම්බන්ධයෙන් වන විවාදය මේ මොහොතේ සිට වුවද ලබා දීමට ආණ්ඩුව සූදානම් බවයි. ඒ අනුව ඊයේ (22) දිනයේදී විවාදයට ගැනීමට නියමිතව තිබූ මුදල් පනතට අදාළ යෝජනා සම්මතයන් විවාදයකින් තොරව සම්මත කිරීමෙන් පසුව ජනාධිපතිවරයා සිදු කළ විශේෂ ප්‍රකාශය පිළිබඳව විවාදය සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් ලෙස ආරම්භ විය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් ක‍ළේ සිය විශේෂ ප්‍රකාශයට අදාළ විවාදය අප්‍රේල් තුන්වන සතියේදී වුවත් සිදු කළ හැකි බවයි. එමෙන්ම මෙහිදී තමන් හට වැදගත් වන්නේ මෙම එකඟතාවන් සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කවර ආකාරයෙන්ද යන්න බවයි. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන ඇති එකඟතාවන් සම්බන්ධයෙන් සියලු දෙනාගේ අනුමැතිය වැදගත් බවත් දෙවන වටයේදී සිදු කරන සාකච්ඡා සඳහා එය අතිශය වැදගත් බවත් ජනාධිපතිවරයා පැවසීය.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කළ විශේෂ ප්‍රකාශය සම්බන්ධ විවාදය ඊයේ (22) දහවල් ආරම්භ වූ අතර එම විවාදය අද (23) දිනයේදීත් පැවැත්වේ.

එමෙන්ම අවශ්‍ය නම් මෙම විවාදය 24 වැනි සිකුරාදා දිනයේදීත් සිදු කළ හැකි බව සභානායක, අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ප්‍රකාශ කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා,

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කළ ප්‍රකාශය පිළිබඳ පුළුල් පාර්ලිමේන්තු විවාදයක් ලබාදෙන්න. ඒ වගේම අද දවසේ එතුමාගේ ප්‍රකාශයට පිළිතුරක් ලබාදීම වෙනුවෙන් අද දවසේදී මටත් අවස්ථාවක් ලබා දෙන්න. මේ මොහොතේදී බැරි වුණත් ලැබෙන පළමු අවස්ථාවේදීම ජනාධිපතිවරයාට ප්‍රතිචාර දක්වනවා.

සභානායක, සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා,

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විවාදය මේ මොහොතේ සිට වුවත් ආරම්භ කිරීමට සූදානම්. අද වුණත් විවාදයට ආණ්ඩුව සූදානම්. දැන් විවාදය පටන් ගන්න පුළුවන්. අද මුදල් පනත් දෙකක් තිබෙන්නේ. ඒකෙන් පටන් අරන් විවාදය කරන්නට පුළුවන්. සියලු ලේඛන සභාගත කර තිබෙන්නේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා,

කථානායකතුමනි, අපිත් සූදානම්. ඒ පිළිබඳ විවාදයට.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

මේ විවාදය කරන්නේ එක් අරමුණක් ඇතිව. දෙපැත්තෙම විවිධ අදහස් ප්‍රකාශ කරලා කොහොමද එකට එකතු වෙලා වැඩ කටයුතු කරන්නේ කියලා. එතකොට මට පුළුවන් ජාතික සභාවත් මුණගැහෙන්න.

විපක්ෂ නායකවරයා,

ජනාධිපතිතුමා අභියෝගයක් කළා, අදම විවාදය කරමු කියලා. අපි ඒකට සූදානම්. ඒ විවාදය තුළ අපට එකතු වෙන්න පුළුවන් තැන් තිබෙනවා, ඒ එකතු විය හැකි තැන්වල අපි එකතු වෙනවා. විකල්ප යෝජනා තිබෙන තැන්වල විකල්ප යෝජනා ඉදිරිපත් කරනවා. ඒ නිසා ආපස්සට යන්න එපා. විවාදය අදම පටන් ගමු.

සභානායක, අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා,

මෙතෙක් කාලයක් පුරා මාස හත අටක් තිස්සේ මතු වූ කරුණු කාරණා, දේශපාලනික කාරණාවලටත් පිළිතුරු දෙමින් තමයි අද ජනාධිපතිවරයා ප්‍රකාශය සිදු කළේ. අයි.එම්.එෆ්. වැඩපිළිවෙළට අදාළ සියලු තොරතුරු, කොන්දේසි සාකච්ඡා, පිළිබඳ විස්තර අද සභාගත කළා. මේ පිළිබඳව වරින් වර ප්‍රශ්න මතු කළා. අද දිනට නියමිතව තිබෙන්නේ මුදල් පිළිබඳ රෙගුලාසි දෙකක්. ඒකත් එක්කම මේ විවාදය කරගෙන යන්නට පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ.

පාර්ලි‍මේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා,

ජනාධිපතිවරයාගෙන් දැනගන්නට කැමතියි, එතුමා ඉදිරිපත් කරන ලද කරුණු අනුව පසුගිය අමාත්‍ය මණ්ඩලයේදී තීරණයක් ගෙන තිබෙනවා, ශ්‍රී ලංකා ටෙලිකොම් මණ්ඩල‍ය රජය සතු කොටස්, ලංකා හොස්පිට්ල් එකේ කොටසුයි විකුණන්න. පාඩු ලබන රාජ්‍ය ආයතන විකුණනවා කියලයි මීට පෙර කිව්වේ. ජනාධිපතිතුමනි, කැමති නම් මීට පිළිතුරක් දෙන්න. අපි කැමති වුණත් නැතත් ලාභ ලබන ආයතන විකුණන්නේ ඇයි? ඒ වගේම මේ ආයතන මිලදී ගන්නේ විදේශ ආයෝජකයෝ නම් ඒ ලාභය අරන් යන්නෙ රුපියල් ඩොලර් කරලා. එතකොට මේ විදේශ විනිමය පීඩනය අඩුවෙනවද? වැඩි වෙනවාද?

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා,

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරන ලද කතාවට මේ විවාදයේදී පිළිතුරු දෙන්නට බලාපොරොත්තු වෙනවා, නමුත් ජනාධිපතිතුමනි, ඔබතුමාට මතක් කළ යුතුයි. අපි හැමදේටම විරුද්ධ වුණේ නැහැ. පාර්ලිමේන්තුවට මේක එන්න කලින් ඉඳන්ම රජයට අපි කිව්වා, කරුණාකර මේ අවස්ථාවේදී අයි.එම්.එෆ්. එකත් එක්ක සාකච්ඡාවකට යන්න කියලා. එහෙම වුණොත් රට බංකොලොත් වෙන්නේ නැහැ කියලා. ඒ වගේම අපේ නායකතුමා කිව්වා වගේ අපට එකඟ වෙන්න පුළුවන් තැන් තිබෙනවා. අපි නැහැ කියන්නේ නැහැ. පසුව හරි ගිය එක ගැන අපි සතුටු වෙනවා. ඔබතුමාට මේ අය වෙනස් කරගන්න පුළුවන් වුණ එක ගැන සතුටු වෙනවා. සාමාන්‍ය ජනතා පීඩාවට පත්ව ඇති අවස්ථා අපි වෙනස් කර ගත යුතුයි. ඒ වගේම මේ විවාදයට අපි ධනාත්මකව සම්බන්ධ විය යුතුයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

මට ඕන අතීතය ගැන කතා කරන්නට නෙවෙයි. කොහොමද මේ වැඩකටයුතු කරන්නේ කියන කාරණයයි වැදගත් වන්නේ. මම සභාවෙන් ඉල්ලන්නේ අයි.එම්.එෆ්. සමඟ පැමිණි එකඟතාවට අනුමැතිය දෙන්න. අනුමැතිය දුන්නේ නැත්තම් මට ගිහින් කතා කරන්න බැහැ. දෙවන වටයේ අපගේ ණයකරුවන් සමඟ. අපි සියලු ණයකරුවන් සමඟ සාකච්ඡා කළ යුතුයි. ඒ වගේම අපට ඉදිරි පාර්ලිමේන්තු සතිය වන අප්‍රේල් තුන්වන සතියේදීත් අපට මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ හැකියි.

විපක්ෂ නායකවරයා,

ජනාධිපතිතුමනි, මීට අදාළ ලේඛන ඔබතුමා සභාගත කළා. මේ පිළිබඳව අදහස් දැක්වීමත් කළා. මම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ මෙම විවාදය සම්බන්ධයෙන් අපි ඉදිරිපත් කරන අදහස් සවන් දීම සඳහා පාර්ලිමේන්තුව තුළ රැඳී සිටින ලෙස. අපි ප්‍රායෝගික දේශපාලනයේ නිරත වෙමු. මේ විවාදයට අපි සූදානම්.

ස්වර්ණා විජේකෝන්, නුවන් කොඩිකාර

 

නව අදහස දක්වන්න