සූර් පිට ජීප් රියේ ගිහින් දෙදෙනකු හැප්පූ රියැදුරා අත්අඩංගුවට | දිනමිණ

සූර් පිට ජීප් රියේ ගිහින් දෙදෙනකු හැප්පූ රියැදුරා අත්අඩංගුවට

කටුගස්තොට පොලිසිය ආසන්නයේ පිහිටි ඉන්දනපිරවුම අසල දී සිදුවූ රිය අනතුරකින් තුවාල ලැබු පුද්ගලයින් දෙදෙනකු මහනුවර ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති බව කටුගස්තොට පොලිසිය පවසයි.පසුගිය 21 වැනිදා රාත්‍රී 11.30 ට පමණ කටුගස්තොට සිට මාතලේ දෙසට ධාවනය වෙමින් පැවැති යතුරුපැදියක විරුද්ධ දිශාවෙන් පැමිණි ජීප් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.අනතුරින් යතුරුපැදිකරු වන පුජාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු හා පසුපැදිකරු වන හොරණ ප්‍රදේශයේ පදිංචි වෛද්‍යවරයා මෙලෙස තුවාල ලබා ඇත.අනතුර සිදුකළ බව පැවසෙන ජීප්රථයේ රියදුරා අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින් විසින් ඔහු පරික්ෂාවට ලක්කර ඇති අතර එම අවස්ථාවේ ඔහු මත්පැන් පානය කර සිටි බව අනාවරණය කරගෙන ඇත.අලදෙනිය වැරැල්ලගම ප්‍රදේශයේ පදිංචිකරුවක බව පැවසෙන බීමත් රියදුරා පෙරේදා(22)මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

කටුගස්තොට පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පො.ප.උදාර මහතාගේ උපදෙස් මත උ.පො.ප.හේරත්,පො.සැ.29366 විජිත,පො.කො.76705 ලක්ෂ්මන් යන නිලධාරින් විසින් මේ සම්බන්ධව විමර්ශන සිදුකරනු ලැබීය.

එස්.ජී.විජේරත්න-කටුගස්තොට සමූහ

නව අදහස දක්වන්න