බිරියට නිතරම පහරදෙන සැමියාට ගෙට එන්න තහනම් කරයි | දිනමිණ

බිරියට නිතරම පහරදෙන සැමියාට ගෙට එන්න තහනම් කරයි

බිරියට නිතර පහර දීම් කරමින් විවිධ අඩම්තේට්ටම් කරන බව කියන සැකකාර සැමියෙකුට වසරක කාලයකට බලපැවැත්වෙන පරිදි බිරිය පදිංචි නිවසට ඇතුල් වීම තහනම් කරමින් අත්තනගල්ල අංක 2 මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා පෙරේදා 22 පස්වරුවේ ආරක්ෂක ආඥාවක් නිකුත් කළේය.

සමන් කුමාර නමැත්තෙකුට එසේ බිරිය පදිංචි නිවසට ඇතුල්වීම තහනම් කැරිණි.

මාඉඹුල වදුරාගලවත්ත ප්‍රදේශයේ බිරිඳ පදිංචි නිවසට එසේ ඇතුල් වීම තහනම් කැරිණි.

නිතර බිරියට පහර දීම් කරමින් විවිධ අඩම්තේට්ටම් කරන බවට ලද පැමිණිල්ලකට අනුව නිට්ටඹුව පොලීසිය පරීක්ෂණ පවත්වා ඒ පිළිබඳ වාර්තා අධිකරණයට ඉදිරිපත් කරමින් ගෘහස්ථ ප්‍රචන්ඩත්වය යටතේ සැකකාර සැමියාට එරෙහිව නඩු පවරා තිබුණි.එම පැමිණිල්ල යලි කැඳවූ අවස්ථාවේ සැකකාර සැමියා හා පැමිණිලිකාර බිරිය යන දෙදෙනාම අධිකරණය ඉදිරියේ පෙනී සිටියහ.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා සියලු පරීක්ෂණ වාර්තා පරීක්ෂා කර බලා එසේ සැකකාර සැමියාට බිරිය පදිංචි නිවසට ඇතුල් වීම වසරක කාලයකට බලපැවැත්වෙන පරිදි තහනම් කිරීමට අමතරව එම නිවස විකිණීම අන්සතු කිරීම,බිරියගේ ඥාතීන් හට කරදර හිරිහැර කිරීම ද සම්පූර්ණයෙන්ම තහනම් කළේය.

නිට්ටඹුව පොලීසියේ නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.ඩබ්ලිව්.ඇල්.රවීන්ද්‍ර හා එහි පොලිස් සැරයන් එච්.ආර්.ඇස් .කුමාර යන මහත්වරු පැමිණිල්ල මෙහෙය වූහ.

වේයන්ගොඩ විශේෂ

නව අදහස දක්වන්න