රැකියා වලට ගොස් ලාඕසයේ සිරවී සිටි ශ්‍රී ලාංකික තරුණයන් පිරිසක් දිවයිනට | දිනමිණ

රැකියා වලට ගොස් ලාඕසයේ සිරවී සිටි ශ්‍රී ලාංකික තරුණයන් පිරිසක් දිවයිනට

ලාඕසයේ පරිගණක ක්ෂේත්‍රයේ රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකික තරුණයන් 24 දෙනෙකු , තමන්ට පැවරූ   පරිගණක මූල්‍ය වංචා  සිදු නොකිරීම නිසා එරට විශේෂිත කළාපයක කොටු වී සිටියදී  අද (24) දින ඔවුන් බේරා ගෙන කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි .
 
මොවුන් හම්බන්තොට සහ ගාල්ල ඇතුළු දකුණු පළාත නියෝජනය කරන පරිගණක පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය ලැබූ තරුණයන් පිරිසකි .
 
 ඔවුන් මීට මාස 04 කට පමණ පෙර ලාඕසයේ " බොකියෝ " (Bokio )   හි , චීනය විසින් පාළනය කරනු ලබන     රන් ත්‍රිකෝණයේ , විශේෂිත ආර්ථික කළාපයේ (Special Economic Zone ) පරිගණක ක්ෂේත්‍රයේ රැකියා සදහා ව්‍යාපාරික වීසා යටතේ , ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී පිටත්ව ගොස් තිබේ .
 
එහිදී මෙම කළාපයට ඇතුළු වත්ම ඔවුන්ගේ  ගුවන් ගමන් බලපත්‍ර , ජංගම දුරකථන සහ අනෙකුත් වටිනා ලියකියවිලි සියල්ල මොවුන් රැගෙන ගිය සමාගම විසින් තම භාරයට ගෙන තිබේ .
 
ඉන්පසුව මෙම විශේෂිත කළාපය තුළ පිහිටි සමාගමේ කාර්යාලය වෙත රැගෙන ගිය මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස වෙත , තම රැකියාවේ කාර්යයභාරය ලෙස  , විවිධ ගිණුම් ක්‍රම භාවිතා කරමින් , මෙම කළාපය තුළ ව්‍යාජ ලෙස  විවිධ ආයෝජන අවස්ථා පවතින බව  පෙන්වා දෙමින් , මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නන්ගෙන් , අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචනික ලබා ගැනීමට කටයුතු කරන ලෙස දන්වා තිබේ .
 
මෙම කටයුත්ත ප්‍රතික්ෂේප කළ මෙම ශ්‍රී ලාංකික තරුණයන් පිරිසට , මෙම විශේෂිත ආර්ථික කළාපයෙන් පිටවීමට , මේ සිදුවීම පිළිබඳව ශ්‍රී ලංකාවට හෝ බාහිර ලෝකය දැනුවත් කිරීමට අවස්ථාවක් ලබා නොදී සිරගත තත්වයකට පත් කිරීමට එම සමාගම පියවර ගෙන තිබේ .
 
එහෙත් පරිගණක පිළිබඳව මනා නිපුණත්වයක් ඇති මෙම ශ්‍රී ලාංකික තරුණයන් පිරිස , මෙම බාධක මැඩලමින් , දැඩි ප්‍රයත්නයක් දරා මේ සියලු සිදු වීම් මාලාව ලොවට හෙළි කිරීමට පියවර ගෙන තිබුණි .
 
ලාඕස රාජ්‍යයේ ශ්‍රී ලංකාව නියෝජනය කරන තානාපති නිලධාරීවරයෙකු නොමැති අතර , ඒ වෙනුවට ගරු දූත සේවා නිලධාරීවරයෙකු වශයෙන් දමිත් අලුත්ගේ මහතා කටයුතු කරමින් සිටින අතර , ඔහු සහ ශ්‍රී ලංකාවේ " මගෙන් රටට " සිවිල් සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා එක්ව දැඩි ප්‍රයත්නයක් දරා , මෙම තරුණයන් පිරිස මෙම කළාපයේ , එම සමාගමෙන් බේරා ගෙන , යළි ශ්‍රී ලංකාවට ගෙන ඒමට කටයුතු කර තිබුණි .
 

නව අදහස දක්වන්න