ජාත්‍යන්තර මැයි දිනය වෙනුවෙන් රැලියේදී කම්කරු ඇමැතිගෙන් යෝජනාවලියක් - පාක්ෂිකයන්ගේ එක හඬින් යෝජනාවලිය සම්මතයි | දිනමිණ

ජාත්‍යන්තර මැයි දිනය වෙනුවෙන් රැලියේදී කම්කරු ඇමැතිගෙන් යෝජනාවලියක් - පාක්ෂිකයන්ගේ එක හඬින් යෝජනාවලිය සම්මතයි

එක්සත් ජාතික පක්ෂය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ජාත්‍යන්තර මැයි දිනය වෙනුවෙන් ඊයේ (01) පැවැත්වූ සැමරුමේදී කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා යෝජනාවලියක් ඉදිරිපත් කළේය. ඔහු විසින් ගෙනෙන ලද යෝජනාවලිය මෙසේය.

 

1. කම්කරුවාගේ තිරසර ආරක්ෂාව සහ සමාජ ආරක්ෂණය සහතික කරමින් කම්කරු අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර, ශක්තිමත් ව්‍යවසායකයෙක් නිර්මාණය කරන, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය දිරිගන්වන ඒකාබද්ධ කම්කරු නීති පද්ධතියක් සකස් කර ව්‍යවස්ථාදායකය තුළ සම්මත කර ගැනීම.

2. සේවක අර්ථසාධක අරමුදලට දායකත්වය ලබා දෙන ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව ඉහළ නංවා ගැනීමටත්, දායකත්වය ලබා දෙන ආයතන ප්‍රමාණය ඉහළ නංවා ගැනීමටත් වන සක්‍රීය හා ඵලදායී වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීම සහ අවිධිමත් අංශයේ රැකියාවල නියුතු අය ද සේවක අර්ථසාධක අරමුදලට ඇතුළත් කර ගැනීම.

3. සමාජ ආරක්ෂණ විවෘත ආර්ථික ප්‍රතිපත්තියක් රට තුළ ස්ථාවර කිරීම සඳහා පුළුල් සමාජ ආරක්ෂණ ජාලයක් ක්‍රියාත්මක කළ යුතුව තිබේ. රටේ ආර්ථිකය තුළ විධිමත් සමාජ ආරක්ෂණ ක්‍රමවේදයන්ට ඇතුළත් නොවන අසංවිධිත අංශයේ සේවකයන් වෙනුවෙන් පුළුල් සමාජ ආරක්ෂණ ජාලයක් ක්‍රියාත්මක කිරීමටත්, රැකියා අවසාන කිරීමකදී හෝ රැකියාව අහිමි වීමේදී ලෝකයේ දියුණු රටවල ක්‍රියාත්මක වන ආකාරයේ දායකත්ව විරැකියා රක්ෂණ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම.

4. 2048දී සංවර්ධිත රටක් වෙනුවෙන් වන උපාය මාර්ගික වැඩපිළිවෙළට ගැළපෙන ආකාරයට මානව සම්පත ආර්ථික වශයෙන් ඵලදායී ලෙස යොදා ගැනීම සඳහා කටයුතු කරමින් මීළඟ ශිෂ්ටාචාරය ජය ගත හැකි නවීන වැඩ ලෝකයට ගැළපෙන මානව සම්පතක් බිහි කිරීම සඳහා වන උපාය මාර්ගික වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

5. ආර්ථික වශයෙන් ඵලදායී මානව සම්පතක් බිහි කර ගැනීමටත්, විදේශගත ශ්‍රමිකයාගේ ආරක්ෂාව සහ සුබසාධනය සහතික කිරීම සඳහාත් කම්කරු ක්ෂේත්‍රය සහ විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට ලක් කිරීම.

6. ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් පිළිගනු ලැබ ඇති පරිදි වෘත්තීය සුරක්ෂිතතාවය හා සෞඛ්‍ය මූලික අයිතිවාසිකමක් යන්නට ගරු කරමින්, සියලුම සේවා ස්ථානවල ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව හා සෞඛ්‍ය සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සකස් කිරීම.

7. සේවා ස්ථානයේදී ලිංගිකත්වය මත පදනම් වූ වෙනස්කම්වලට භාජනය වීමෙන් වැළැක්වීම සඳහාත්, කාන්තා ශ්‍රම බළකායේ සහභාගිත්වය ඉහළ නංවා ගැනීම සඳහාත්, සේවයේ යොදවා ඇති සේවිකාවන්ගේ මාතෘ ප්‍රතිලාභ සමාජ ආරක්ෂණ අරමුදලකින් ගෙවීම සඳහාත් විධිමත් නෛතික රාමුවක් සකස් කිරීම.

8. ඕනෑම වෘත්තියක නිරත වන ශ්‍රමිකයාගේ අභිමානය, ගරුත්වය සහ වෘත්තිකත්වය ආරක්ෂා වන වැඩපිළිවෙළක් නිර්මාණය කිරීම.

9. ආබාධිත සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් මානව සම්පත් ලෙස දිරිගැන්වීමට අවශ්‍ය පියවර ගැනීම.

10. අයිතිවාසිකම් සහ සුබසාධනය ශක්තිමත්, නූතන වැඩ ලෝකයට ගැළපෙන වතු කම්කරුවෙක් නිර්මාණය කිරීම.

11. අනාගත වැඩ ලෝකයේ ඇති වන තාක්ෂණික වෙනස්කම් සඳහා ප්‍රතිපත්‍ති සම්පාදනයට විශාල දත්ත ප්‍රමාණයක් ඒකරාශී කර ගැනීමේ අරමුණින් පෞද්ගලික සහ රාජ්‍ය ශ්‍රම වෙළෙඳපොළ පදනම් කර ගත් ජාතික වෙළෙඳපොළ තොරතුරු පද්ධතියක් ක්‍රියාත්මක කිරීම.

 

මෙම යෝජනාවලිය ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා කියා සිටියේ, '2048 ජය ගමු' තේමා කර ගත් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති 2023 මැයි දින රැලිය 'වාමවාදී දුප්පත් කම්කරුවා' යන සංකල්පය ඉරා දමා 'පොහොසත්, ජවයෙන් යුත් නූතන ඩිජිටල් වැඩ ලෝකයට ගැළපෙන ශ්‍රම සම්පතක් බිහි කර ගැනීම' උදෙසා මෙම යෝජනාවලිය තම පෞද්ගලික වාසිය පසෙකලා නිරන්තරයෙන් රට ගැන සිතූ අභිමානවත් එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ස්ථිරත්වය නියෝජනය කරමින්, යෝජනාවලිය ස්ථිර කරන ලෙසට පක්ෂයේ නියමුවරුන්ට ආරාධනා කරන බවයි.

ඒ අනුව, මෙම යෝජනාවලිය එක්සත් ජාතික පක්ෂ මැයි රැලියට සහභාගි වූ සියලු දෙනාම අත් ඔසවා අනුමත කළහ.

 

ඡායාරූප - නිෂ්ශංක විජේරත්න

නව අදහස දක්වන්න