ඉදිවෙමින් පවතින කොළඹ වරාය අසල අධිවේගයේ බඩු උස්සන්න ආ පිරිසකට වෙඩි | දිනමිණ

ඉදිවෙමින් පවතින කොළඹ වරාය අසල අධිවේගයේ බඩු උස්සන්න ආ පිරිසකට වෙඩි

නවයකට තුවාල

අයකුට බරපතළයි

කාන්තාවන් සිව්දෙනකුත් ඒ අතර

 

 

ඔරුගොඩවත්ත සිට කොළඹ වරාය නගරය වෙත කණු මතින් ගමන් කරන අධිවේගි මාර්ගයේ ඉදි කිරීම් සඳහා රැගෙනවිත් තිබෙන යකඩ ඇතුළු භාණ්ඩ සොරා ගනිමින් සිටි පිරිසකට ඊයේ (01) රාත්‍රියේ කළ වෙඩි තැබීමකින් 09 දෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

වෙඩි තැබීම සිදු කර ඇත්තේ අදාළ ඉදි කිරීම් සමාගම මඟින් සිය භාණ්ඩ ආරක්ෂාවට යොදවන ලද පුද්ගලික ආරක්ෂක සමාගමක ආරක්ෂක නිලධාරීන් බව මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වන වෙරළබඩ පොලිසියේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

වෙඩි වැදී රෝහල්ගත කළ අය අතර කාන්තාවන් සිව් දෙනකු සිටින බව පොලිසිය සඳහන් කළේය. වෙඩි වැදුණු අයගෙන් එක් අයකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් තොරතුරු සඳහන් කළේය.

මෙසේ වෙඩි වැදී තුවාල ලැබූ අය බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය කියයි.

මෙම පිරිස සංවිධානාත්මකව වැඩබිමෙන් කම්බි සහ තවත් භාණ්ඩ සොරා ගනිමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලිසිය කියයි. මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ කොළඹ වරාය පරිශ්‍රය තුළදීය. අධිවේගි මාර්ගය ගමන් කරනු ලබන්නේ කොළඹ වරාය පරිශ්‍රයට ඉහළිනි.

දැනට ඉදි කිරීම්වලින් කොටසක් අවසන්ව තිබෙන අතර වරාය පරිශ්‍රය තුළ ඇති ඉදි කිරීම් මේ වන විට සිදුවෙමින් පවතී. ඉදි කිරීම් සඳහා රැගෙනවිත් ඇති යකඩ ඇතුළු වටිනා උපකරණ ඇත්තේ වරාය පරිශ්‍රය තුළ බව පොලිසිය කියයි.

ගයාන් කුමාර වීරසිංහ

නව අදහස දක්වන්න