සුපිරි ඩීසල් රු.135කින් බසී IOC මිලත් අඩු වෙයි | දිනමිණ

සුපිරි ඩීසල් රු.135කින් බසී IOC මිලත් අඩු වෙයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල ගණන් පෙරේදා (30) සිට අඩු කිරීමට සමගාමීව අයි.ඕ.සී. සමාගම තෙල් මිල සංශෝධනය කරමින් සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 135කින් අඩු කර තිබේ. ඒ අනුව එහි නව මිල රුපියල් 330කි.

අඩු වූ මිල ගණන් අනුව රුපියල් 340ක්ව පැවැති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 7කින් අඩු වූ අතර එහි නව මිල රුපියල් 333කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 375ක් වූ අතර එය රුපියල් 10කින් අඩු කෙරුණි. ඒ අනුව එම පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 365කි.

ලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් අඩු කළ අතර එහි නව මිල රුපියල් 310කි. ලංකා භූමිතෙල් මිල සහ ලංකා කාර්මික භූමිතෙල් මිල ගණන්වල කිසිදු වෙනසක් සිදුව නැත.

ලංකා අයි.ඕ.සී. සමාගම ද සිපෙට්කෝ මිලට සමගාමීව සිය ඉන්ධන මිල පහළ දමා තිබේ.

ලංකා බනිජ තෙල් නීතිගත සංස්ථාව ඉතා අවම ලාභයක් තබා ගනිමින් පෙරේදා (30) මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිල සංශෝධනය සිදු කර ඇති බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊයේ (01) නිකුත් කළ ට්විටර් පණිවිඩයක සඳහන් වේ.

ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින් ශත 02ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකින් ශත 98ක් සහ සුපර් ඩීසල් ලීටරයකින් රුපියල් 9.86ක ලාභයක් සංස්ථාව උපයන බවත් ලංකා ඔටෝ ඩීසල් ලීටරයකින් ශත 89ක් සහ භූමිතෙල් ලීටරයකින් රුපියල් 2.95ක් අලාභ ලබන බවත් එහි සඳහන්ය.

එසේම ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකට රුපියල් 77.95ක, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකට රුපියල් 100.17ක, ඔටෝ ඩීසල් ලීටරයකට රුපියල් 51.73ක, සුපර් ඩීසල් ලීටරයකට රුපියල් 73.62ක හා භූමිතෙල් ලීටරයකට රුපියල් 3.72ක බද්දක් පැනවෙන බවත් සඳහන කර තිබේ.

රක්ෂණ ශ්‍රියන්ත

නව අදහස දක්වන්න