තායිලන්තයේ අගමැති අපේක්ෂිකාව මව් පදවියට | දිනමිණ

තායිලන්තයේ අගමැති අපේක්ෂිකාව මව් පදවියට

තායිලන්ත මහමැතිවරණයෙන් අගමැති ධුරයට පත්වනු ඇතැයි අනාවැකි පළවී ඇති පීටොංටාන් ෂිනවට්රා පෙරේදා සිය තුන්වැනි දරු ප්‍රසූතිය සිදු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. තායිලන්තයේ මහමැතිවරණයට සති දෙකක කාලයක් තිබියදී 36 හැවිරිදි අගමැති අපේක්ෂිකාව යළි මාතෘ පදවියෙන් පිදුම් ලැබුවේ තායිලන්ත ජනතාවගේ සුබපැතුම් අතුරින් බව ද වැඩිදුරටත් සඳහන් වේ. දියණියක හා පුතකු සිටින පීටොංටාන්ට මෙවර උපන්නේ පුතකු බව වැඩිදුරටත් වාර්තා වේ.

සමීක්ෂණ වාර්තාවකට අනුව පීටොංටාන් 38.3%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා අගමැතිධුරයට පත්වනු ඇතැයි ද, වසර 2014දී කුමන්ත්‍රණයක් මගින් එරට අගමැති ධුරයට පත් වූ වත්මන් අගමැති ප්‍රයූත් චැං ඔචාට හිමිවන ප්‍රතිශතය 15.65% ක් පමණක් බව ද වාර්තා වී තිබේ. එරට හිටපු අගමැතිවරයකු වන තක්සින් ෂිනවට්රාගේ දියණිය වන පීටොංටාන් ලබන 14 වැනිදා පැවැත්වීමට නියමිත තායිලන්ත මහමැතිවරණයෙන් අගමැති ධුරයට පත් වුවහොත් තායිලන්ත දේශපාලන ඉතිහාසයේ ළාබාලතම අගමැති ලෙස ඇය වාර්තාපොතට එක්වනු ඇත. එමෙන්ම එරට අගමැති ධුරයට පත් දෙවැනි කාන්තාව ලෙසත් පීටොංටාන් ඉතිහාසගත වනු ඇතැයි වාර්තා වේ. මීට පෙර 70 දශකයේ අගභාගයේදී සෙනි ප්‍රමෝජ් තායිලන්තයේ ළාබාලතම අගමැති ලෙස පත්වූයේ 40 හැවිරිදි වියේදී වන අතර, 2011දී එරට පළමු අගමැතිවරිය ලෙස පත්වූයේ පීටොංටාන්ගේ නැන්දනියක වූ යිංලක් ෂිනවට්රාය.

 

නව අදහස දක්වන්න