දොඩම්පේ සිල් සුවඳින් නහවා එකම දින එකම පවුලේ පස්දෙනෙක් සසුනට | දිනමිණ

දොඩම්පේ සිල් සුවඳින් නහවා එකම දින එකම පවුලේ පස්දෙනෙක් සසුනට

සිය ස්වාමියාගේ අවසරය ඇතිව බිරිය, පුතුන් තිදෙනා සහ දියණිය සසුන් ගතවීමේ මහා පින්කමක් පසුගියදා (25) රත්නපුර, දොඩම්පේ චිත්තානන්ද පිරිවෙන් විවේකාරාම විහාරස්ථානයේදී සිදු විය. දොඩම්පේ චිත්තානන්ද පිරිවෙන් විවේකාරාම විහාරස්ථානයේ විහාරාධිපති කොටපොල සුධම්ම නාහිමිගේ සහ පරකඩුවේ නන්දකල්‍යාණී මෙහෙණින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මේ පින්කම සිදු විය.

තිස් අට හැවිරිදි සුරේකා සජීවනී (මව) නාමල්තලාවේ සෝනුත්තරා නමින් ද, ඇගේ පුතුන් වන 14 හැවිරිදි ඩී. එම්. හර්ෂණ නාමල්තලාවේ සමිත නමින් ද, 09 හැවිරිදි ඩී. එම්. ගගන චන්දිම නාමල්තලාවේ සමිද්ධි නමින් ද, 07 හැවිරිදි ඩී. එම්. තෙනුවර ආකාෂ් නාමල්තලාවේ සුලක්ඛන නමින් ද, දියණිය වන 4 හැවිරිදි ඩී. එම්. යසස්සි නාමල්තලාවේ කවින්ධ්‍යා නමින් ද සසුන් ගත වූහ. මේ සියලු දෙනාම අම්පාර, නාමල්තලාවේ පදිංචිකරුවෝය.

මිල්ලකඩේ චිත්තානන්ද පිරිවෙන් විවේකාරාම විහාරස්ථානයේ විහාරාධිපති, කෘත්‍යාධිකාරි කොටපොල සුධම්ම නාහිමි මේ උත්සවයේ මුලසුන හොබවමින් මෙලෙස පැවැසූහ.

“අපේ දායකයන් කොතෙක් පින්කම් කළත් ක්‍රමවේදය කුමක්ද කියා සමහරු දන්නේ නෑ. තථාගත බුදුරජාණන් වහන්සේ පෙර ආත්ම භාවයක සිටු කුමරියක් හැටියට උප්පත්තිය ලැබුවා. එහිදී අබතෙල් පුජා කර ලැබෙන පිනෙන් බුදු වීම අපේක්ෂා කළා. නමුත් කාන්තාවකට බුදු වීමට නොහැකියි. එසේ වීමට පිරිමි ආත්මයක් ලැබිය යුතුයි. එදා සිටු කුමරිය සිය ස්වාමි පුරුෂයාගෙන් විවරණය ගත්තා. එය සිහිපත් කරමින් මේ විවාහක කාන්තාව සසුන්ගත වීමේදී තම ස්වාමි පුරුෂයාගෙන් විවරණයක් ගත යුතුයි. ඒ ලබන ආත්මයේ පිරිමි ආත්මයක ඉපදීමයි. එම අවස්ථාව මෙහිදී ඉටු කළා. පිරිමියෙක් වූවොත් පමණයි බුද්ධත්වය ලබන්න හැකිවන්නේ. මේ ස්වාමියා ද ඉදිරියේ සසුන් ගත වීමට නියමිතයි.”

පරකඩුවේ නන්දකල්‍යාණී මෙහෙණින් වහන්සේ

“මෙහෙණින් වහන්සේලාගේ ශාසනයේ පැවැත්ම උදෙසා තවත් දෙදෙනකු ශාසනයට ඇතුළුවීම සතුටට කරුණක්. ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ කාලයේ මෙහෙණින් වහන්සේලා හිටියා. අදත් අපේ කාන්තා පාර්ශ්වයට යමක් දැනගැනීමට, අවවාද අනුශාසනා ගැනීමට මෙහෙණින් වහන්සේලා වශයෙන් අප කටයුතු කරමින් අපේ සසර ගමන කෙටි කරගැනීමට අදිටන් කරමින් සිටිනවා. මෙහිදී මහා සංඝරත්නය දක්වන සහයෝගය අප අගය කරනවා.”

නීල් මධුසංඛ (42) නැමති ස්වාමි පුරුෂයා මෙසේ පැවසීය.

“මම අම්පාර ප්‍රදේශයේ නවීන පහසුකම් සහිත හිස කෙස් සැකසුම් ආයතනයක රැකියාව කරමින් බිරිය සහ දරුවන් සමඟ ජීවත් වුණා. අපට ජීවත්වීමේ ගැටලුවක් තිබුණේ නෑ. ශක්තිමත් ආර්ථිකයක් තියෙනවා. ඒත් මගේ බිරියත්, පුතාලා තුන්දෙනත්, දුවත් සසුන් දිවියට ඇතුළු වීමට ලොකු බලාපොරොත්තුවකින් හිටියේ. කොහොම හරි අද ඒ අවස්ථාව උදා වුණා. මේ පිළිබඳ අපේ වැඩිහිටියන්ගේ ප්‍රසාදයක් තිබුණේ නෑ. ඒත් මමත් මෙයට කැමතියි. ඉදිරි දිනකදී මමත් සසුන්ගතවී අපේ සසර ගමන කෙටි කරගැනීමට අදිටන් කරගෙනයි ඉන්නේ.”

කේ.ඒ.සුනිල් -කුරුවිට

නව අදහස දක්වන්න