කුඩු පාර්සලයේ සැකකරුගේ ඇඟිලි සලකුණු වෙනුවට පොලිසියේ ඇඟිලි සලකුණු | දිනමිණ

කුඩු පාර්සලයේ සැකකරුගේ ඇඟිලි සලකුණු වෙනුවට පොලිසියේ ඇඟිලි සලකුණු

රෝෂන් තුෂාර

නිර්දෝෂි භාවයේ පූර්ව නිගමනය දරුණු අපරාධකරුවකුට පවා හිමියි
- කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්ත මාරසිංහ

නිර්දෝෂි භාවයේ පූර්ව නිගමනය දරුණු ගණයේ අපරාධකරුවකුට පවා හිමි විය යුතු බව ප්‍රකාශ කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්ත මාරසිංහ මහතා හෙරොයින් පැකැට් කරමින් සිටියදී අත්අඩංගුවට ගන්නා ලදැයි අධිකරණයට ඉදිරිපත් කරන ලද, තවත් නඩු කීපයක සැකකරුවකුද වන විත්තිකරුවකු හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනා දෙකකින් නිදොස් කොට නිදහස් කිරීමට ඊයේ (2) නියෝග කළේය.

හෙරොයින් ග්රෑම් 5.63ක් සන්තකයේ තබාගැනීමේ හා ජාවාරම් කිරීමේ අධිචෝදනා දෙකෙන් මෙසේ නිදොස් කොට නිදහස ලදුයේ ගල්කිස්ස බටෝවිට ප්‍රදේශයේ පදිංචි ඩී. ජයතිලක නමැති විත්තිකරු වේ.

සැකකරු 2015 මාර්තු 24 දින රත්මලාන ප්‍රදේශයේ නිවෙසක හෙරොයින් අසුරමින් සිටියදී වලාන දූෂණ මර්දන ඒකකයට ලැබුණු තොරතුරක් මත අත්අඩංගුවට ගත් බව පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණි.

තමා සන්තකයේ හෙරොයින් නොතිබූ බවත්, තමා තම සහෝදරියගේ නිවෙසට ගිය අවස්ථාවේ පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් බවත් විත්තිකරු අධිකරණයට සඳහන් කර ඇත.

හෙරොයින් ග්රෑම් 10කට අධික ප්‍රමාණයක් සන්තකයේ තිබියදී සැකකරු අත්අඩංගුවට ගත් බවට පොලිසිය සාක්ෂි ඉදිරිපත් කර ඇතත් එම හෙරොයින් සහිත නඩු පාර්සලයේ ඇඟිලි සලකුණු යොදා ඇත්තේ විත්තිකරුගේ නොව පොලිසියේ පළමු සාක්ෂිකරුගේ බව පෙන්වා දුන් විනිසුරුවරයා පැමිණිල්ල සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර නැති බවද පැමිණිල්ලේ අඩුපාඩු හේතුවෙන් සැකකරු නිදොස් කොට නිදහස් කරන බවද තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේය. සැකකරු වෙනත් නිවෙසක සිටියදී අත්අඩංගුවට පත් වූයේ නම් එම නිවෙසේ හිමිකාරිය ආධාර අනුබල දීමේ වරදට ඉදිරිපත් නොකළේ මන්ද යන කරුණ ඉස්මතු වන බව පෙන්වා විනිසුරුවරයා අවශ්‍ය සාක්ෂි අධිකරණයට ඉදිරිපත් නොකිරීම පැමිණිල්ලේ දුර්වලතාවක් බව පෙන්වා දුන්නේය.

නව අදහස දක්වන්න