ජාතික වෙසක් උළෙල බාල පරපුරට ආදර්ශයක් - අගමැති දිනේෂ් ගුණවර්ධන | දිනමිණ

ජාතික වෙසක් උළෙල බාල පරපුරට ආදර්ශයක් - අගමැති දිනේෂ් ගුණවර්ධන

මෙවර ජාතික වෙසක් මහෝත්සවය උත්කර්ෂවත් ලෙස පැවැත්වීමෙන් බාල පරම්පරාවේ විශාල මානසික පෙරළියකට හේතු වන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

වසර හතරක කාලයක් පුරා පැවැති විවිධ සමාජීය හේතු මත වෙසක් උත්සවය පැවැත්වීමට නොහැකි වීමෙන් ඒ පිළිබඳ මතකය බාල පරපුරෙන් ගිලිහී ගිය බවද අගමැතිවරයා පැවසීය. අගමැතිවරයා මේ බව පැවසුවේ හලාවත කැබැල්ලෑවල රතනසිරි පිරිවෙන් විහාරස්ථානයේදී ජාතික වෙසක් උත්සවය ආරම්භ කරමිනි.

ශ්‍රී බුද්ධ වර්ෂ 2567 වන රාජ්‍ය වෙසක් මහෝත්සවය සිහි ගන්වමින් සමරු මුද්දර 4 ක් නිකුත් කිරීම,විහාරස්ථාන 6ක් පූජා බිම් බවට ගැසට් කර සන්නස්පත්‍ර ප්‍රදානය, පූජා භූමි ඉඩම් 6ක් සඳහා නිරවුල් දීමනා පත්‍ර ප්‍රදානය, දිස්ත්‍රික්ක තුළ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් ම ආවරණය වන පරිදි විහාරස්ථාන හා දහම් පාසල් වෙත යටිතල පහසුකම් සංවර්ධනයට සහ උපකරණ සඳහා ප්‍රතිපාදන පිරිනැමීමද මේ අවස්ථාවේදී සිදු කෙරිණි.

අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක ආණමඩුවේ සද්ධර්ම කීර්ති ශ්‍රී රතනපාල බුද්ධරක්ඛිත ධම්මදස්සි හිමි ප්‍රමුඛ ගරුතර සංඝරත්නය, සිල් මෑණිවරුන්, හින්දු, කිතුනු හා ඉස්ලාම් පූජක ප්‍රසාදීන් වහන්සේ, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක, රාජ්‍ය ඇමැතිවරුන් වන සනත් නිශාන්ත, අශෝක ප්‍රියන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන, අරුන්දික ප්‍රනාන්දු, යදාමිණි ගුණවර්ධන, චින්තක මායාදුන්නේ, නිරෝෂන් පෙරේරා, විදේශ තානාපතිවරු, හිටපු කථානායක කරු ජයසූරිය, බුද්ධශාසන අමාත්‍යංශ ලේකම් සෝමරත්න විදානපතිරණ, පුත්තලම දිස්ත්‍රික් ලේකම් ඇතුළු නිලධාරීහු සහ ගම්වාසීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

නව අදහස දක්වන්න