වෙසක් බලන්න ගිය බොලෙරෝව පෙරළී 10ක් පාණදුර රෝහලට | දිනමිණ

වෙසක් බලන්න ගිය බොලෙරෝව පෙරළී 10ක් පාණදුර රෝහලට

වෙසක් සිරි නරඹා නැවත පැමිණෙමින් සිටි පිරිසක් රැගත් බොලෙරෝ වර්ගයේ කුඩා ලොරි රථයක් පෙරේදා (06) අලුයම 5.45ට පමණ පාණදුර වලාන ප්‍රදේශයේ දී පෙරළී යාමෙන් කුඩා දරු තිදෙනකු ඇතුළු දස දෙනකු තුවාල ලබා පාණදුර මූලික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි පාණදුර දකුණ පොලිසිය කියයි.

තුවාල ලැබූවන් අතර, සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.

කොළඹ වෙසක් සිරි නරඹා මතුගම බලා යාම සඳහා පාණදුර දෙසට පැමිණෙමින් තිබූ බොලෙරෝ වර්ගයේ ලොරි රථය පාණදුර ගාලු පාරේ වම් පස මැද දූපතෙහි අඩි තිහක් පමණ උස දෙපසට විහිදෙන බල්බ සවිකර ඇති විදුලි කණුවක සහ යකඩ වැටවල් දෙකක ගැටි පෙරළීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත.

අනතුර වන අවස්ථාවේ දී කුඩා ලොරියේ පුද්ගලයන් 17 දෙනකු ගමන් කර ඇතැයි පොලිසිය කියයි. සිදු වූ අනතුරක් සමඟම පාණදුර වලාන ප්‍රදේශයේ විදුලිය විසන්ධි වී ඇත. අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයන් මතුගම කෙලින්කන්ද ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය කියයි.

ලොරි රථය පැදවූ රියැදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුරට වන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

පාණදුර මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර නාවුල්ල මහතාගේ උපදෙස් පරිදි, රථවාහන අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අරුණ ශාන්ත මහතාගේ මෙහෙයවීමෙන් කොස්තාපල්වරුන් වන කේ. ඊ. ප්‍රභාත් (44913) සහ එම්. බී. දසනායක (26806) පරීක්ෂණ පවත්වති.

පොතුපිටිය - සුමිත් ප්‍රේමතිලක සහ

බණ්ඩාරගම - බිමල් ජයසිංහ

නව අදහස දක්වන්න