මීගොඩ ව්‍යාපාරික නි‍වෙසින් කෝටි 35ක මැණිකක් ඇතුළු දේපළ රැසක් සොරාගෙන | දිනමිණ

මීගොඩ ව්‍යාපාරික නි‍වෙසින් කෝටි 35ක මැණිකක් ඇතුළු දේපළ රැසක් සොරාගෙන

විදේශ රටවල් සමඟ සෘජුවම සම්බන්ධ වී නිමි ඇඳුම් සපයන කෝටිපති ඇඟලුම් කර්මාන්තශාලා හිමියකුගේ මීගොඩ ලයනල් ජයසිංහ මාවතේ පිහිටි සුඛෝපභෝගී තෙමහල් නිවසේ තිබූ කෝටි 35කට ආසන්න වටිනා ආරුනූල් වර්ගයේ නිල් මැණිකක් හා රුපියල් ලක්ෂ ගණනාවක රන් භාණ්ඩ ඇතුළු තවත් දේපළ සොරා ගෙන ගොස් ඇතැයි මීගොඩ පොලිසිය කියයි. සොරා ගෙන යන ලද දේපළ අතර කැරට් 35කට අධික බරකින්යුත් නිල් මැණිකක්, ලක්ෂ පහළොවක් පමණ වටිනා රොලෙක්ස් වර්ගයේ අත් ඔරලෝසුවක්, ටයිටෑන් වර්ගයේ කාන්තා අත් ඔරලෝසුවක්, රන් මුදු හයක්, රන් අත් පලඳනාවක්, රිදී මුදුවක්, රුපියල් ලක්ෂ 8 ½ පමණ වටිනා ඇමරිකන් සහ සිංගප්පූරු ඩොලර් 2100ක් මෙන්ම හොංකොං මුදල් කිහිපයක්

මෙන්ම මෝටර් රථයේ ස්වයංක්‍රීය ක්‍රියා කරවනය හා විදේශ බැංකු කාඩ්පත් පහක් වන බව පොලිසිය කියයි.

ඉකුත් පස් වෙනි දින ව්‍යාපාරිකයා බිරිය සහ දරු දෙදෙනා සමඟ කොට්ටාව ප්‍රදේශයේ විහාරස්ථානයක දානයම පිංකමකට සහභාගි වී අනතුරුව කොළඹ ප්‍රදේශයේ සමීප ඥාතියකුගේ නි‍ෙවසේ පැය කීපයක් ගත කර පෙරේදා 6 මධ්‍යම රාත්‍රී 12, 30ට පමණ තම නි‍ෙවසට පැමිණ තිබූ බව පැමිණිල්ලේ සඳහන් වේ. සියලුම දෙනා නින්දට ගොස් පෙරේදා 6 පෙරවරු නවයයි තිහට පමණ අවදි වී ඇති අතර ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු ව්‍යාපාරිකයාට දුරකතන ඇමතුමක් ලබා දෙමින් ඔහුට අයත් බෑග් කීපයක් වෙලක් ආසන්නයේ දමා ගොස් ඇති බවත් එහි තිබූ දුරකතන අංකයකින් ඇමතුම ලබා ගත් බවත් දැනුම් දී තිබූ බව පොලිසිය කියයි.

අනතුරුව එම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ව්‍යාපාරිකයාගේ නි‍ෙවසට පැමිණීමෙන් අනතුරුව ඔහු සමඟ ව්‍යාපාරිකයා එම ස්ථානය කරා ගොස් ඔහුගේ නි‍ෙවසේ තිබූ කාන්තා අත්බෑග් දෙක හා අනෙක් අත් බෑගය හඳුනාගෙන තිබූ බව පොලිසිය කියයි.

එම කාන්තා අත් බෑග් දෙක දෙවන මහලේ කාමරයක බෑග් එල්ලීම සඳහා සකස් කර තිබෙන ස්ථානයේ එල්ලා තිබී ඇති අතර අනෙක් අත් බෑගය යාබද කාමරයේ තිබී ඇතැයි විමර්ශනවල දී අනාවරණය වී ඇත.

රුපියල් කෝටි 35ක් පමණ වටිනා නිල් මැණික තිබී ඇත්තේ කාන්තා අත් බෑගයක් තුළ දමා බවත් අනෙක් අත්බෑගයේ ව්‍යාපාරිකයාට අයත්, බැංකු පාස් පොත්, විදේශීය බැංකුවලට අයත් කාඩ්පත් මෙන්ම තවත් වැදගත් ලිපි ලේඛන රැසක් අඩංගුව තිබී ඇතැයි පොලිසිය කියයි. අත් ඔරලෝසු සහ රන් භාණ්ඩ මධ්‍යම රාත්‍රියේ දී නි‍ෙවසට පැමිණීමෙන් අනතුරුව පහත මහලේ මේසය මත තබා තිබී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.

පැමිණි සොරුන් නි‍ෙවසේ අල්මාරි සහ කබඩ් කඩා නොමැති අතර, නි‍ෙවසේ දෙවන මහලේ පිටුපස පෙදෙසේ ජනේලයක් කඩා ඇතුළු වී මෙම සොරකම සිදුකර ඇතැයි නිලධාරියකු පැවැසීය.

මෝටර් රථයේ ස්වංක්‍රීය පණගන්වන උපකරණය එම ප්‍රදේශයේ නි‍ෙවසක් අසල තිබී ව්‍යාපාරිකයා වෙත ඊයේ 7 ලබා දී තිබූ බව පොලිස් නිලධාරියකු පැවැසීය. එම මැණික ව්‍යාපාරිකයාට ව්‍යාපාර කටයුතුවල දී තුර්කියෙන් ලැබුණු එකක් බවට ද පැමිණිල්ලේ සඳහන් වේ.

අපරාධය සිදු වූ ස්ථානයට නුගේගොඩ අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ නිලධාරීන් හා බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ද පැමිණ පරීක්ෂණ පැවැත්වූහ.

මීගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්. එම්. එන්. ප්‍රියන්ත මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක සුබසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.

බණ්ඩාරගම බිමල් ජයසිංහ

නව අදහස දක්වන්න