නව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතක් හඳුන්වා දීමට පියවර | දිනමිණ

නව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතක් හඳුන්වා දීමට පියවර

රාජ්‍ය මූල්‍ය යාන්ත්‍රණය විධිමත් කිරීමේ උපාය මාර්ග, මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයේ ප්‍රධාන අංගයක් බවත් නව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතක් හඳුන්වා දීමට පියවර ගන්නා බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා කියයි.
 
ඇමතිවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනයක් ළඟා කර ගැනීම සඳහා හවුල්කාරිත්වයේ වැදගත්කම අවධාරණය කිරීම සහ එම අරමුණට දායක වූ විවිධ පාර්ශ්වකරුවන් අතර සාර්ථක හවුල්කාරිත්වයන් ප්‍රදර්ශනය කිරීම අරමුණු කරගත්, කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සංවිධාන කරන ලද ශ්‍රී ලංකා හවුල්කාරිත්ව වේගවත් කිරීමේ උසස් සංසදය අමතමිනි.
 
රටේ තිරසාර සංවර්ධන ප්‍රමුඛතා නිසි මගෙහි පවතින බව සහතික කරන අතරම විවිධ ක්ෂේත්‍ර සහ ප්‍රජාවන්ට ඇති දැඩි බලපෑම් අවම කිරීමට ශ්‍රී ලංකාව නිර්භීත පියවර ගෙන ඇති ආකාරය රාජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කළේය. 
 
සාර්ව ආර්ථික ස්ථාවරත්වය, ණය තිරසාරභාවය, මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සහ ශ්‍රී ලංකාවේ වර්ධන විභවය විවෘත කිරීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වේගවත් කිරීම කේන්ද්‍ර කරගත් අධිෂ්ඨානශීලී ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයකට රජය ප්‍රමුඛත්වය දී ඇති ආකාරය පැවසීය.
 
“රාජ්‍ය මූල්‍ය ඒකාග්‍ර කිරීමේ ක්‍රියාවලියේ වැදගත් අංගයක් වන බදු නොවන ආදායම ඉහළ නැංවීමට අපි පියවර ගනිමින් සිටිනවා. අරමුදල් විසර්ජනය ඵලදායී ලෙස කළමනාකරණය කිරීම සඳහා රජය දැඩි ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. රාජ්‍ය සතු ව්‍යවසාය ප්‍රතිසංස්කරණ සිදු කරනු ලබන්නේ මූල්‍යමය වශයෙන් වඩාත් වැදගත් රාජ්‍ය ව්‍යවසාය වශයෙන් ඒවා ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා යි. අපි, රාජ්‍ය වියදම් පාලනය කිරීම සඳහා බැඳුනු රාජ්‍ය මූල්‍ය නීති රීති ඇතුළත් කරමින් නව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතක් හඳුන්වා දීමට කටයුතු කරමින් සිටිනවා” ඔහු වැඩිදුරටත් සදහන් කළේය.
 
ක්‍රිස්ටියන් ස්කූග් මහතා, එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරයා ද, රජය, එක්සත් ජාතීන්ගේ සහ අනෙකුත් සංවර්ධන ආයතන, පෞද්ගලික අංශය, සිවිල් සමාජය ඇතුළු ආරාධිතයින් පිරිසක් මෙම සංසදයට සහභාගී වී සිටියහ.

නව අදහස දක්වන්න