රග්බි පරිපාලනයට ක්‍රීඩා ඇමැති පත් කළ කමිටුව පිළිගන්නේ නෑ | දිනමිණ

රග්බි පරිපාලනයට ක්‍රීඩා ඇමැති පත් කළ කමිටුව පිළිගන්නේ නෑ

ජාතික ඔලිම්පික් කමිටුව ලෝක රග්බි සම්මේලනයට ලියයි

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ක්‍රීඩා පනතට අනුකූලව ලැබී ඇති බලතල මත ශ්‍රී ලංකා රග්බි ආයතනය විසුරුවා හරිමින් නිසි බලධාරියකු පත් කිරීම හෙළා දකින බවත්, අනතුරුව රග්බි ක්‍රීඩාවේ පරිපාලනය සඳහා මාස 6ක කාලසීමාවකට පත් කළ නව පුද්ගල ස්ථාවරකරණ කමිටුව පිළිනොගන්නා බවත් ජාතික ඔලිම්පික් කමිටුව ලෝක රග්බි සම්මේලනයට ලිඛිතව දැනුම්දී ඇතැයි වාර්තා වේ.

ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතාගේ අත්සනින් යුතුව පසුගිය 3 වැනිදා ලෝක රග්බි සම්මේලනයේ සභාපතිවරයාට යොමු කර ඇති එම ලිපියෙහි පිටපත් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට, ආසියානු ඔලිම්පික් කවුන්සිලයට, ආසියානු රග්බි සංගමයට, ලෝක රග්බි සම්මේලනයේ ප්‍රධාන විධායක නිලධාරියාට, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාට, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ ජාතික ඔලිම්පික් කමිටුව පිළිගන්නා රග්බි ආයතනයේ සභාපතිවරයාට ද යවා තිබේ.

එම ලිපියෙන් සඳහන් කර ඇත්තේ ක්‍රීඩා අමාත්‍යවරයා ගනු ලැබූ පියවර සම්බන්ධව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සහ ආසියානු ඔලිම්පික් කවුන්සිලය ද දැඩි අවධානය යොමු කර ඇති බවය.

සිය ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන ශ්‍රී ලංකා රග්බි ආයතනය විසුරුවා හරිමින් වෙනත් කමිටුවක් පත් කිරීම පිළි නොගැනීම ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ මෙන්ම ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ ද ස්ථාවරය වී ඇති බව ද එම ලිපියෙන් කරුණු දක්වා ඇත. ජාතික ඔලිම්පික් කමිටුව ද ජාත්‍යන්තර රග්බි සම්මේලනයේ ව්‍යවස්ථාවට අනුව කටයුතු කරමින් ඡන්දයෙන් පත් වූ සභාපති රිස්ලි ඉල්යාස් මහතා ඇතුළු නිලධාරි මණ්ඩලය පමණක් පිළිගන්නා බව ද එහි වැඩිදුරටත් සඳහන් වේ. රග්බි ආයතනයේ නිලවරණය එහි ව්‍යස්ථාවට අනුව පැවැත්විය යුතු බවත්, එම නිලවරණය පැවැත්වීමේදී ජාතික ඔලිම්පික් කමිටුවේ උපදෙස් විමසිය යුතුව ඇති බවත් එම ලිපියෙන් අවධාරණය කර තිබේ.

ෆවුස් මොහොමඩ්

නව අදහස දක්වන්න