අපේ රටේ සංහිඳියාව ශක්තිමත් කරනවා | දිනමිණ

අපේ රටේ සංහිඳියාව ශක්තිමත් කරනවා

ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ

සංහිඳියාව ගොඩනැංවීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටින බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

ඇමැතිවරයා මේ බව සඳහන් කෙළේ 2021 හා 2022 වර්ෂ සඳහා ශ්‍රී ලංකා බැරෝමීටර්හි සමීක්ෂණ වාර්තාව එළිදැක්වීමේ අවස්ථාවට ඊයේ (08) එක්වෙමිනි. රටේ සෑම පළාතකම සිටින පුද්ගලයන් ප්‍රතිසංවිධානය සහ සමාජ ඒකාබද්ධතාව දකින්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් දක්වන මහජන මත සමීක්ෂණයේ දත්ත ලබා දෙමින් ශ්‍රී ලංකා බැරෝමීටරය එළිදක්වන ලද ජාතික වාර්තා දෙකක් මෙලෙස එළිදැක් විණි.

ශ්‍රී ලංකාවේ සමාජ ඒකාබද්ධතාව සහ සාමය ශක්තිමත් කිරීමේ වැඩසටහන මීට අවශ්‍ය සහාය ද යුරෝපා සංගමය සහ ජර්මානු ෆෙඩරල් විදේශ කාර්යාලය මීට සම අරමුදල් සපයන අතර ශ්‍රී ලංකාවේ ජර්මානු තාක්ෂණික සහයෝගිතා ආයතනය සමඟ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය එක්ව මෙය ක්‍රියාත්මක කරයි.

එහිදී වැඩිදුරටත් අදහස් පළකළ ඇමැතිවරයා මෙසේද පැවසීය.

දකුණු අප්‍රිකානු සත්‍ය සෙවීමේ කොමිසම ශ්‍රී ලංකාවට ආදර්ශයක්. ඒ සම්බන්ධයෙන් අධ්‍යනය කර තිබෙනවා. දැනටමත් සත්‍ය සෙවීමේ කොමිසමක් ඇති කිරීමට අවශ්‍ය ක්‍රියාකාරී සැලැස්ම කෙටුම්පත් කර තිබෙනවා.

පසුගිය 2015 වසරේ පරිවර්තනයත් සමඟ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට මෙන්ම සංහිඳියාව වර්ධනය කිරීමට පියවර රැසක් ගෙන තිබෙනවා. විවිධ බාධක මැද ඒ කටයුතු සිදුකර තිබෙනවා. ඒ අවස්ථාව වනවිට ශ්‍රී ලංකාවට ජී.එස්.පී. සහනය අහිමි වන තත්ත්වයක් තිබුණා. යුරෝපයට මත්ස්‍ය අපනයනය නතර වී තිබුණා. 19 වැනි සංශෝධනය මඟින් ප්‍රජාතන්ත්‍රවාදයට මගපෑදුවා. ස්වාධීන කොමිෂන් සභා ඇති කළා. නීති ප්‍රතිසංස්කරණ හඳුන්වා දුන්නා. දූෂණ විරෝධී පනතක් සහ ත්‍රස්ත විරෝධී පනතක් කෙටුම්පත් කළා. එම කාලයේ ම සත්‍ය සෙවීමේ කොමිසමක් ඇති කිරීමේ ක්‍රියාමාර්ග ආරම්භ කළා. නමුත් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය, කොවිඩ් 19 වසංගත තත්ත්වය මෙන්ම දේශපාලන අර්බුද හේතුවෙන් එය අඩපණ වුණා.

සත්‍ය සෙවීමේ සහ සංහිඳියාව සම්බන්ධයෙන් කොමිසමක් ඇති කිරීම සඳහා අපි කැපවී ඉන්නවා.

මෙහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් සැන්ඩිලේ එඩ්වින් චෝල්ක්, ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ ජර්මානු නියොජ්‍ය තානාපති ඔලාෆ් මල්චොව්, යුරෝපා සංගමයේ දකුණු හා ගිනිකොන දිග ආසියානු ඒකකයේ ප්‍රධානී මාරියෝ රොන්කොනී මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

මහින්ද අලුත්ගෙදර

නව අදහස දක්වන්න