බංග්ලාදේශ කාන්තා පිලට ශ්‍රී ලංකාවේදී පළමු විස්සයි20 ජය | දිනමිණ

බංග්ලාදේශ කාන්තා පිලට ශ්‍රී ලංකාවේදී පළමු විස්සයි20 ජය

නිරෝෂාන් ප්‍රියංකර

පන්දු රැකීමේදී සිදු වූ අත්වැරදි හේතුවෙන් සංචාරක බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම හමුවේ පළමු විස්සයි20 තරගය කඩුලු 6කින් පරාජය වීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සිදු විය.

බංග්ලාදේශ කාන්තා පිල ශ්‍රී ලංකාවේදී වාර්තා කළ පළමු විස්සයි20 ජය මෙය වන අතර, විස්සයි20 ජාත්‍යන්තර තරගයකදී ඔවුන් ශ්‍රී ලංකාව පරාජය කළේ වසර 2014න් පසුව වීම ද විශේෂත්වයකි. ඊයේ පෙරවරුවේ කොළඹ එස්එස්සී ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල කඩුලු 6ක් දැවී ලකුණු 145ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹා ගිය බංග්ලාදේශ කාන්තා පිල පන්දුවක් ඉතිරිව තිබියදී ජය හිමි කර ගත්තේ කඩුලු 4ක් පමණක් අහිමි කර ගනිමිනි.

බංග්ලාදේශ පිළිතුරු ඉනිමේදී ආරම්භ පිතිකාරිනියන් ලකුණු 23ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකා පිලට හැකි වුවත් අංක 4 පිතිකාරිනිය ලෙස පිටියට පිවිසි නායිකා නගාර් සුල්තානා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේ නොදැවී ලකුණු 75ක් රැස් කරමිනි. ශෝභනා මෝස්ටර් (17) සමඟ තෙවැකි කඩුල්ලට ලකුණු 51ක් එක් කළ නගාර්, රිතු මෝනි සමඟ එක්ව ඉනිම ලකුණු 145 දක්වා ඉදිරියට ගෙන ගියාය. පන්දු 23කින් ලකුණු 33ක් රැස් කර සිටි රිතු දුවද්දි දැවී ගිය අතර, නිගාර් පන්දු 51කින් සිය ලකුණු සංඛ්‍යාව රැස් කළේ හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟිනි.

ඕවර 18ක් නිමා වන විට බංග්ලාදේශ පිල ජයග්‍රහණයට ලකුණු 25ක් පසුපසින් සිටි අතර, නායිකා චමරි අතපත්තු යැවූ 19 වැනි ඕවරයේදී නිගාර් සහ මෝනි ලකුණු 17ක් උදුරා ගැනීම තරගයේ හැරවුම් ලක්ෂය විය. 20 හැවිරිදි කාව්‍යා කාවින්දි ඊයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි20 තරග වරම් ලැබූ අතර, ඇය මංගල කඩුල්ල ලෙස බංග්ලාදේශ ආරම්භක පිතිකාරිනි ශමිමා සුල්තානා දවා ගැනීමට සමත් වූවාය.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල වෙනුවෙන් හර්ෂිතා මාධවී පන්දු 44කින් ලකුණු 45ක් රැස් කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය වූ අතර, නායිකා චමරි අතපත්තු පන්දු 28කින් ලකුණු 38ක් සහ නිලක්ෂි ද සිල්වා නොදැවී ලකුණු 29ක් ඉනිමට එක් කළහ. පන්දු යැවීමේදී ෆහීමා කටුන් කඩුලු 2ක් දවා ගත්තාය.

දෙපිල අතර දෙවැනි විස්සයි20 තරගය හෙට (11) එස්එස්සී පිටියේදීම පැවැත්වේ.

ශ්‍රී ලංකා පිල - 145/6 (ඕවර 20) හර්ෂිතා මාධවී 45, චමරි අතපත්තු 38, නිලක්ෂි ද සිල්වා නොදැවී 29, විශ්මි ගුණරත්න 11

බංග්ලාදේශ පිල - 146/4 (ඕවර 19.5) නිගාර් සුල්තානා නොදැවී 75, රිතු මෝනි 33, ශෝභනා මොස්ටරි 17

නව අදහස දක්වන්න