හෙල්මට් පහර දී මිතුරා මැරූ සැකකරු 17 දක්වා ඇතුළට | දිනමිණ

හෙල්මට් පහර දී මිතුරා මැරූ සැකකරු 17 දක්වා ඇතුළට

තම මිතුරාට හෙල්මටයකින් පහර දී ඝාතනය කළ සැකකරු එළැඹෙන 17 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී. තේනබදු මහත්මිය පෙරේදා (08) නියම කළාය.

මිනුවන්ගොඩ අස්සැන්නවත්ත ප්‍රදේශයේ පදිංචි රාමනායකගේ රවින්ද්‍ර රාමනායක නමැති සැකකරුව මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණි. මිනුවන්ගොඩ, ගල්කන්ද ප්‍රදේශයේ පදිංචි වග පේඩිගේ තිලකරත්න නමැති අවුරුදු 60ක් වයසැති පුද්ගලයකු මෙසේ පහර කෑමට ලක්ව මියගොස් තිබේ.

මරණකරු ඉකුත් 04 වැනිදා පස්වරුවේදී ඔහුගේ මිතුරකු සමඟ බහින්බස් වීමක් ඇති කරගෙන ඇති බවත් දෙදෙනා අතර කතාබහ දුරදිග ගොස් සැකකරු අත තිබූ හෙල්මට් එකෙන් මරණකරුගේ හිසට පහර දී ඇති බවත් අධිකරණයේදී සඳහන් විය. ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී තුවාලකරු පෙරේදා (08) මියගොස් තිබුණි.

මෙම මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීම සඳහා මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය මඟින් කරන ලද ඉල්ලීම මත ගම්පහ මහේස්ත්‍රාත් ශිලනි චතුරන්ති පෙරේරා මහත්මිය පෙරේදා (08) වැඩ බලන මහේස්ත්‍රාත් වසන්තා ගුණසේකර මහත්මියව පත් කරනු ලැබුවාය. මිනුවන්ගොඩ පොලිසියේ උප පොලිස් පරීක්ෂක ජී.කේ. අබේරත්න නිලධාරියාගේ මඟපෙන්වීම යටතේ ගම්පහ රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති මළ සිරුර වැඩබලන මහේස්ත්‍රාත් වසන්තා ගුණසේකර මහත්මිය විසින් නිරීක්ෂණය කරනු ලැබුවාය. මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලෙසට ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත නියම කළ වැඩ බලන මහේස්ත්‍රාත්වරිය පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව සිරුර ළඟම ඥාතීන් වෙත බාර දෙන ලෙසට රෝහල් බලධාරීන්ට නියම කළාය.

මියගිය අයගේ මරණය සම්බන්ධයෙන් වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණය එළැඹෙන 17 වැනිදාට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවැත්වීමට නියමිතය. සාක්ෂිකරුවන් එදිනට අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට මිනුවන්ගොඩ පොලිසියට නියම කෙරුණි.

ගම්පහ සමූහ - ටෝනි කරුණානායක

නව අදහස දක්වන්න