නිව් ඩයමන්ඩ් - එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරු ගැන සොයන්න: තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි ආණ්ඩු පක්ෂයෙන් කථානායකට ලිපියක් | දිනමිණ

නිව් ඩයමන්ඩ් - එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරු ගැන සොයන්න: තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි ආණ්ඩු පක්ෂයෙන් කථානායකට ලිපියක්

ස්වර්ණා විජේකෝන්
නුවන් කොඩිකාර

මෙරට මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමනඩ් හා එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරු පිළිබඳව කරුණු සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 15 දෙනකුගෙන් සමන්විත විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් කඩිනමින් පත් කරන ලෙස ඉල්ලමින් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 21 දෙනකුගේ අත්සනින් යුතු ලිපියක් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ඊයේ (9) භාරදෙනු ලැබීය.

ජයන්ත කැටගොඩ, සංජීව එදිරිමාන්න, යදාමිණි ගුණවර්ධණ, ඩබ්ලිව්.ඩී. වීරසිංහ, රංජිත් බණ්ඩාර, මධුර විතානගේ, රාජිකා වික්‍රමසිංහ, ගුණතිලක රාජපක්ෂ, කුමාරසිරි රත්නායක, ජගත් කුමාර, මහින්දානන්ද අලුත්ගමගේ, සම්පත් අතුකෝරාළ, නාලක කෝට්ටේගොඩ, සුදර්ශන දෙනිපිටිය, කේ.ඒ.යූ.කේ. ගුණතිලක, නිමල් ලාන්සා, එච්.එම්.එම්. හාරීස්, සරත් වීරසේකර, මුදිත ද සොයිසා, එස්.බී. දිසානායක, ප්‍රදීප් උඳුගොඩ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අදාළ ලිපිය සඳහා අත්සන් තබා තිබිණි.‍

නෞකා අනතුරු සිදුවීම හා අනතුරුවලින් පසුව සිදු වූ මැදිහත්වීම් සහ අඩුපාඩු පිළිබඳව නැවත සමාජයේ දැඩි කතාබහකට ලක්ව ඇති බව අදාළ ලිපිය මඟින් මන්ත්‍රීවරුන් පෙන්වා දී තිබේ.

එවැනි පසුබිමක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනකුම සභාව තුළදී මෙන්ම පිටතදී ද මෙම අනතුරු සහ නෞකා රක්ෂණ සමාගම් අතර සිදුවූ ගනුදෙනු පිළිබඳ හෙළිදරව් කළ බවද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

අදාළ නෞකා අනතුරු සම්බන්ධ සිදුවීම්වල සත්‍ය හෙළිදරව් විය යුතු බැවින් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් කඩිනමින් පත්කරන ලෙස ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කථානායකවරයාට භාරදුන් ලිපිය මඟින් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

නව අදහස දක්වන්න