ප්‍රචණ්ඩත්වයට තිත තියන්න පූර්ණ බලතල සහිත ජනාධිපති කොමිසමක් | දිනමිණ

ප්‍රචණ්ඩත්වයට තිත තියන්න පූර්ණ බලතල සහිත ජනාධිපති කොමිසමක්

රට තුළ ප්‍රචණ්ඩත්වය මුළුමනින්ම නතර කිරීමට පූර්ණ බලතල සහිත ජනාධිපති කොමිසමක් පත් කරන ලෙසට අමාත්‍ය මණ්ඩලය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, කැබිනට් ප්‍රකාශක, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේය.

ජනතාවට නිදහසේ ගමන් කිරීමට සහ තමන්ගේ නිවෙස තුළ බියෙන් සැකයෙන් තොරව ජීවත් වීමට ඇති අයිතිය උල්ලංඝනය වීම නැවැත්වීම සඳහා පූර්ණ බලතල ඇති ජනාධිපති කොමිසමක් පත් කළ යුතු බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තුළ කැබිනට් තීරණ දැනුම් දීම සඳහා පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් කැබිනට් කරුණු සාකච්ඡා කිරීමට පෙර වෙනත් කරුණු යටතේ මෙම කාරණාව සාකච්ඡා කළ බව ඇමැතිවරයා ඊයේ (09) පැවසුවේය.

මැයි 09 වැනිදා වන විට ලෝක ඉතිහාසයට දරුණු කළු පැල්ලමක් එක් කළ ප්‍රචණ්ඩත්වයේ ඛේදවාචකයට අදට (09) වසරක් සපිරෙන බවත් පොදු පිළිගැනීම අනුව ශිෂ්ටසම්පන්න සමාජ ක්‍රමයක් තුළ යහපැවැත්ම ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය යන කුලුනු තුන යටතේ රඳා පවතින බවත් ඇමැතිවරයා කීය.

වෛරය රට තුළ පැතිර වීමේ ප්‍රතිඵලයක් ලෙස ව්‍යවස්ථාදායකය නියෝජනය කළ නියෝජිතයකු පසුගිය කාලයේදී ම්ලේච්ඡ ආකාරයෙන් මහ පාරේ ඇදගෙන ගොස් මරා දැමූ බවත් පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් 72කට පැය 12ක් තුළ උන්හිටි තැන් අහිමි කළ බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

ඊට පැය 48ක් ගත වීමට පෙර ප්‍රාදේශීය වශයෙන් 800කට අධික සංඛ්‍යාවකට දේපොළ අහිමි කළ බවත් උත්තරීතර ආයතනය වන පාර්ලිමේන්තුවට පසුගිය කාලයේ එල්ල වූ තරම් ම්ලේච්ඡ ප්‍රහාරයක් ඉතිහාසය තුළ එල්ල වී නැති බවත් ඇමැතිවරයා පැවසුවේය.

නව අදහස දක්වන්න