එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ යම් යම් හානිවලට රක්ෂණ සමාගමෙන් ඩොලර් මිලියන 10.2ක් ලැබුණා | දිනමිණ

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ යම් යම් හානිවලට රක්ෂණ සමාගමෙන් ඩොලර් මිලියන 10.2ක් ලැබුණා

ඇමැති අලි සබ්‍රි

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ යම් යම් හානිවලට ගෙවීම සඳහා ඊට අදාළ රක්ෂණ සමාගමෙන් අමෙරිකානු ඩොලර් මිලියන 10.2ක් සහ ධීවරයන් සඳහා රුපියල් බිලියන 2.5ක් ලබා දී තිබෙන බව විදෙස් ඇමැති අලි සබ්‍රි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10) පැවසීය.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් පැවති විවාදයේදී අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව පැවසීය.

ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

එය සොච්චම් මුදලක්. මෙය පක්ෂයක් ආණ්ඩුවක් වෙනුවෙන් දමන නඩුවක් නොවේ. එම නඩුවෙන් බලාපොරොත්තු වන්නේ රටට සිදු වූ හානියට වන්දි ලබා ගැනීමටයි.

2021 මැයි මාසේ 19 වැනිද තමයි තෙල් කාන්දුව සිදු වුණේ. 20 වැනිදා විශාල පිපිරීමක් වුණා. 25 වැනිදා වෙනකොට ගිලා බසින එක නවත්වන්න උත්සාහ කළත් ගිලා බැස්සා. මේ ගිලා බැසීමෙන් සිදු වන ඔයිල් කාන්දුව වළක්වන්නේ කොහොමද, පිරිසරයට වෙන හානිය වළක්වන්නේ කොහොමද, ප්ලාස්ටික් වලින් වන දූෂණය වළක්වා ගන්නේ කෙසේද කියන ප්‍රශ්න රැසක් තිබුණා. අපිට අවශ්‍ය වුණේ පොදු යන්ත්‍රණයක් හදාගෙන මෙය විසඳගන්න උත්සාහ ගත්තේ. අපි මේ සඳහා වෙන වෙනම කමිටු පත් කළා. ඒ අයගෙන් අවශ්‍ය උපදෙස් ලබා ගත්තා. අපිට අවශ්‍ය වුණේ තෙල් කාන්දුවෙන් ඇතිවන පරිසර විනාශය වළක්වා ගන්න එකයි. මෙවැනි විශාල හානියක් සම්බන්ධයෙන් නඩු දැමීමේ හැකියාව ශ්‍රී ලංකාව සතුව නැහැ කියලා. ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තරයෙන් උපදෙස් ගන්න ඕනෑ කියන එක.

නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය කළා කියලා විතරක් අපි කියනවා. මුලින්ම අපි ස්පාර්ක් හෙල්මෝ කියන ඔස්ට්‍රේලියානු ආයතනයෙන් ඔපීනියන් එකක් අරන් තියෙනවා.


එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැන සිංගප්පූරුවේ නඩු පැවරීම සිදු කළැයි කියා චෝදනා කිරීම දේශද්‍රෝහි ක්‍රියාවක්

ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් මෙරට අධිකරණයේ නඩු නොපවරා සිංගප්පූරුවේ අධිකරණයක නඩු පැවරීම සිදු කළ බවට චෝදනා කරනවුන් දේශද්‍රෝහි ප්‍රකාශයන් සිදු කරන්නේ යැයි අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (10) ප්‍රකාශ කළේය.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් වූ විවාදයට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

අධිකරණ ඇමැතිවරයා තවදුරටත් මෙසේද පැවසීය.

නැවේ ලියාපදිංචි අයිතිකරු සිංගප්පූරුවේ සිටීම, නැවේ චාර්ටර් පාර්ටි සිංගප්පූරුවේ පැවතීම, නැවේ අයිතිකාර සමාගම මේ වන විට බංකොලොත් වීම, ලංකාවේ මේ නඩුව පැවරුවහොත් සමාගමකට සිතාසියක්වත් යවා ගැනීමට නොහැකි වීම, සිංගප්පූරු අධිකරණයකින් නඩු තීන්දුවක් ලබා ගතහොත් සිංගප්පූරුවේ නීතියට අනුව තර්ඩ් පාර්ටි රෙස්පොන්සිබිලිටි යටතේ අදාළ සමාගමට එරෙහිව ගන්නා නඩු තීන්දුවක් රක්ෂණ සමාගමට එරෙහිව ක්‍රියාත්මක කිරීමට හැකි වීම යනාදි කාරණා ගණනාවක් මුල් කර ගෙන සිංගප්පූරු මහාධිකරණයේ මෙම නඩුව ගොනු කළා.

නඩුවට අගතියක් විය හැකි කරුණු මෙම විවාදය තුළදී සභාව තුළ සාකච්ඡාවට ගතහොත් විවාදය සඳහා තමා සහභාගි නොවන බවත් ඇමැතිවරයා පැවසුවේය.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වන්දි ලබා ගැනීම සම්බන්ධයෙන් අද ඉදිරිපත් කර ඇති යෝජනාව පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලට අනුවත්, ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමයේ මූලික සම්ප්‍රදායන්ට අනුකූලවත් මේ සභාවේ සාකච්ඡාවකට, ප්‍රශ්න කිරීමකට භාජනය කළ නොහැකි කාරණාවක්. මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් පාර්ලිමේන්තුවට බලය ලබා දී තිබෙනවා. පාර්ලිමේන්තු කටයුතු මෙහෙයවීම සඳහා අවශ්‍ය නීතිරීති හා ක්‍රමවේදයන් හදා ගැනීමට. ඒ අනුව මේ පාර්ලිමේන්තු කාලය තුළත් මීට පෙර පැවති පාර්ලිමේන්තු කාල තුළත් ස්ථාවර නියෝග ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සකස් කර සම්මත කරගෙන තිබෙනවා. 2018 දී සම්මත කර ගත් වර්තමානයේ ක්‍රියාත්මක ස්ථාවර නියෝගවලත්, ඊට පෙර පැවති ස්ථාවර නියෝගවලත් පැහැදිලි ලෙස සඳහන් කර ඇති දෙයක් වනුයේ, අධිකරණයක විනිශ්චය වෙමින් පවතින කාරණයක් හෝ අධිකරණ තීරණයක් ලබා දීමට නියමිත යම් කාරණයක් සම්බන්ධයෙන් කිසිදු ප්‍රශ්නයක් පාර්ලිමේන්තුවේ නැගිය නොහැකි බව. මෙය අහම්බෙන් ඇති වූ නීතියක් හෝ රීතියක් නොවන අතර යම් පාර්ශ්වයකට වාසියක් ඇති කර ගැනීමට හෝ අවාසියක් ඇති කරවන්න හැදූ නීතියක්වත් නොවේ.

අවුරුදු සියයකට වැඩි පැරණි වෙස්මිනිස්ටර් ආකෘතියේ පාර්ලිමේන්තු ක්‍රමය තුළ වර්ධනය වූ නීති සංකල්පයක් මත ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් පිළිගත් කාරණාවක් මේක. විධායක ජනාධිපති ක්‍රමය ක්‍රියාත්මක රටවල ද පාර්ලිමේන්තු ක්‍රම තුළ තිබෙන දැඩි රීති පද්ධතියක්. මේ සම්බන්ධයෙන් මුළු ලෝකයම පිළිගත් පාර්ලිමේන්තු සම්ප්‍රදායන් පිළිබඳ ලියවුණු ග්‍රන්ථය වනුයේ අර්ත් ස්කින් මේ පාර්ලිමන්ට්‍රි පැක්ටිස් කියන ග්‍රන්ථය. එහි 24 වැනි සංස්කරණය මගේ අතේ තිබෙනවා.


එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් වූ හානිය ගැන කළ තක්සේරුව සැක සහිතයි

මන්ත්‍රී ශානක්‍යම් රාසමානික්‍යම්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ හානිය පිළිබඳ කළ තක්සේරුව ගැන සැකයක් පවතින බව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී ශානක්‍යම් රාසමානික්‍යම් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10) පැවැසීය. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් පැවති විවාදයේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

තවදුරටත් මන්ත්‍රිවරයා මෙසේද පැවසීය.

මෙම නෞකාවෙන් සිදු වුණ හානිය ලෝකයේ පරිසරයට සිදුවුණ විශාලම හානිය බව දෙස් විදෙස් වාර්තාවලින් පෙන්වා දී තිබෙනවා. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ හානිය පිළිබඳව හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවත්, වත්මන් ආණ්ඩුවත් නිසි පියවර ගත්තේ නැහැ.

නෞකාවේ හානියෙන් සමුද්‍රයට, ජලජ ජීවින්ට, ධීරයන්ට සිදු වූ හානිය ගණනය කළ නොහැකියි. එම තත්ත්වය උඩ දැනට සිදුකර ඇති තක්සේරුව පිළිගත නොහැකියි.

මෙම නඩුව සිංගප්පූරුවේ නොදා ශ්‍රී ලංකාව තුළ පැවරුවේ නම් රටක් ලෙස විශාල වන්දියක් ලබා ගැනීමට ඉඩක් තිබුණා.


පැමිණිල්ලක් නැති සිද්ධියකට මගේ නම ගාවනවා

රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ

 කටානේ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ හිමිකරුට පහරදීමේ සිද්ධියට තමන් සම්බන්ධයක් ඇත්නම් ඒ පිළිබඳ පාර්ලිමේන්තුවෙන් පිටතට ගොස් ප්‍රකාශයක් කරන්නැයි පිට කොන්දක් ඇති පුද්ගලයන්ගෙන් ඉල්ලා සිටින බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10) පැවසීය. වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ මහතා එසේ පැවසීය.

තවදුරටත් රාජ්‍ය ඇමැති මෙසේද පැවසීය.

පැමිණිල්ලක් නොමැති සිද්ධියකට තමන්ගේ නම සඳහන් කරමින් ජාතික පුවත්පත් සිදුකර ඇති වාර්තා කිරීමෙන් වරප්‍රසාද කඩ වී තිබෙනවා. එම ජාතික පුවත්පත් සහ නිලධාරීන් වරප්‍රසාද කමිටුව හමුවට කැඳවා ඒ පිළිබඳව සොයා බලන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලා සිටිනවා.


නෞකාවෙන් සිදු වූ හානියට එරෙහිව නඩු දැමීම ප්‍රමාද වීම යට අදිසි හස්තයක් තිබෙනවා

මන්ත්‍රී විජිත හේරත්

නෞකාවෙන් සිදු වූ හානියට එරෙහිව නඩු දැමීමට ප්‍රමාද වීම යට යම් අදිසි හස්තයක් තිබෙන බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10) පැවසීය. ඒක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් පැවති විවාදයේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

මේ සම්බන්ධයෙන් ගනුදෙනුවක් ඇති වූයේ නැත්නම් මෙහි වන්දි ගැනීම ප්‍රමාද නොවන බව හෙතෙම කීවේය.

මෙම සිද්ධිය වෙන කොට හිටිය ඇමැති කවුද, දැන් ඇමැති කවුද කියන ඒක නොවෙයි ප්‍රශ්නය. මෙයින් අපට සාධාරණයක් ඉටු වෙලා තියෙනවද කියන ප්‍රශ්නය.කෙසේ හෝ කළ යුත්තේ ජනතාවට ඉන් සාධාරණය ඉටුකර දීමයි. මේ පාර්ලිමේන්තුවේදී කියන දේ අපි කියන්නේ වගකීමෙන්.


“දේශීය ආදායම් (සංශෝධන)” පනත් කෙටුම්පතට කථානායක අත්සන් තබයි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාවට අනුව 2023 මැයි 08 වැනි දින “දේශීය ආදායම් (සංශෝධන)” පනත් කෙටුම්පතෙහි සහතිකය සටහන් කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (10) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. ‍

උක්ත පනත් කෙටුම්පත පසුගිය අප්‍රේල් 28 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත විය.

ඒ අනුව, කථානායකවරයාගේ සහතිකය සටහන් කිරීමත් සමඟ “දේශීය ආදායම් (සංශෝධන)” පනත් කෙටුම්පත 2023 අංක 04 දරන “දේශීය ආදායම් (සංශෝධන)” පනත වශයෙන් බලාත්මක වේ.

නුවන් කොඩිකාර, ස්වර්ණා විජේකෝන් සහ සන්ධ්‍යා කරු­ණා­රත්න  

නව අදහස දක්වන්න