ජාතික කොඩිය අරන් මාලිගාවත්තේ ඩෙඟා නැටූ කතට ලක්ෂ 5ක ශරීර ඇප | දිනමිණ

ජාතික කොඩිය අරන් මාලිගාවත්තේ ඩෙඟා නැටූ කතට ලක්ෂ 5ක ශරීර ඇප

අරගලයට වසරක් ගතවීම නිමිති කරගෙන රජය අපකීර්තියට පත්වන ආකාරයේ ප්‍රකාශ කරමින් ජාතික කොඩිය අතැතිව මාලිගාවත්ත ප්‍රදේශයේ සැරිසැරූ අරගලයට සම්බන්ධ බව කියන කාන්තාවක ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (10) නියෝග කළේය.

සැකකාරියට මෙවැනි වරද සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩු නැති බවට ඇය වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ දැක්වූ කරුණු සලකා බලා මහේස්ත්‍රාත්වරයා ඇප ලබා දුන්නේය.

කිසියම් අධිකරණයකින් මීට පෙර මෙවැනි වරද නොකරන ලෙසට අවවාද කර තිබුණොත් ඇපය අවලංගු කරන බවට සඳහන් කරමින් මහේස්ත්‍රාත්වරයා මෙම ඇප නියෝගය නිකුත් කළේය.

සැකකාරිය පෙරේදා (09) 12:30ට පමණ මාලිගාවත්ත ප්‍රදේශයේ සිට දෙමටගොඩ දක්වා සිංහ කොඩියක් අතැතිව රජය අපකීර්තියට පත් වන ආකාරයේ හා මහජනතාව ප්‍රකෝපකාරී දනවන ප්‍රකාශ සිදු කරමින් මාර්ගය අවහිර වන පරිදි හැසිරුණු බවට පොලිසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මඟින් පෙළපාළි යෑම තහනම් කරමින් නියෝගයක් නිකුත් කර තිබුණු අතර, ඒ සම්බන්ධයෙන් මෙම තැනැත්තිය දැනුම්වත් කළ ද ඇය එකී අවවාද නොතකා ක්‍රියා කළ බවට පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.

මෙම තැනැත්තිය මහජනතාව ප්‍රකෝපකාරී කරමින් බිය වද්දමින් තවත් පිරිසක් සමඟ මහාමාර්ගයේ ගමන් කළ බවත් ඒ සම්බන්ධයෙන් පැමිණිලි තුනක් පොලිසි වෙත ලැබුණු පසු සැකකාරිය අත්අඩංගුවට ගත් බවත් මාලිගාවත්ත පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.

ලංකා භූමිය තුළ ඕනෑම පුරවැසියකුට ඕනෑම තැනක යෑමේ ඒමේ නිදහස ඇති බව සඳහන් කළ සැකකාරිය වෙනුවෙන් පෙනීසිටි නීතිඥ තිසර චාමර මහතා සැකකාරිය සිංහ කොඩිය මිස චීන කොඩියක් රැගෙන නොගිය බව සඳහන් කළේය.

මෙය ඇප දිය හැකි වරදක් බැවින් සැකකාරිය ඇප මත මුදා හරින ලෙස නීතිඥ රජිත කොඩිතුවක්කු මහතා අධිකරණයේ ඉල්ලා සිටියේය.

අදාළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකාරිය ලක්ෂ 5ක ශරීර ඇප මත මුදාහරිමින් සෑම මසකම අවසන් ඉරුදින මාලිගාවත්ත පොලිසියට වාර්තා කරන ලෙසට නියම කළේය.

 

සිරන්ජනී කුමාරි

ඡායාරූපය - සුදත් නිශාන්ත

නව අදහස දක්වන්න