ඉන්දියාවෙන් වසරක ණය සහන කාලයක් | දිනමිණ

ඉන්දියාවෙන් වසරක ණය සහන කාලයක්

ශ්‍රී ලංකාවට ලබාදී තිබෙන අමෙරිකානු ඩොලර් බිලියනයක ණය පහසුකම (credit line) සඳහා වලංගු කාලසීමාව තවත් වසරකින් දීර්ඝ කිරීමට ඉන්දියාව තීරණය කර තිබේ.

පසුගිය 2022 වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණපා සිටි අවස්ථාවේදී ඉන්දියාව විසින් ලබාදුන් ඩොලර් බිලියන 4ක හදිසි ආධාරවලින් කොටසක් ලෙස ලැබුණු ඩොලර් බිලියන 1ක ණය පහසුකමෙහි කාලය පසුගිය මාර්තු මාසයේදී අවසන් වීමට නියමිතව තිබුණු අතර ඉන්දියාව සමඟ කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙසින් එම ණය පහසුකම එළඹෙන 2024 වසරේ මාර්තු මාසය දක්වා දීර්ඝ කර ගැනීමට හැකි වූ බව වාර්තා වෙයි.

මෙම ණය පහසුකම ප්‍රධාන වශයෙන් ඉන්දියාවෙන් ඖෂධ සහ ආහාර ආනයනය සඳහා භාවිතයට ගෙන තිබෙන අතර අදාළ ණය පහසුකමෙන් තවත් ඩොලර් මිලියන 350ක් පමණ ඉතිරි වී තිබෙන බවද මුදල් අමාත්‍යාංශය පවසයි.

සාමාන්‍යයෙන් මෙවැනි ණය පහසුකමක් කොන්දේසිවලට යටත් වන අතර එය නිශ්චිත කාලසීමාවක් තුළ භාවිත කර අවසන් කළ යුතු වේ. එහිදී නිශ්චිතව දක්වා ඇති භාණ්ඩ කිහිපයක් පමණක් ආනයනය සඳහා අදාළ ණය පහසුකම භාවිතයට ගත හැකි වනු ඇත.

මහින්ද අලුත්ගෙදර

නව අදහස දක්වන්න