ආසියාවේ සමඟියට බාධා වන කිසිම දෙයකට ශ්‍රී ලංකාව අනුබල දෙන්නේ නෑ | දිනමිණ

ආසියාවේ සමඟියට බාධා වන කිසිම දෙයකට ශ්‍රී ලංකාව අනුබල දෙන්නේ නෑ

උපාලි කරුණාරත්න

- BMICH වසර 50ක් පිරුණු දා පැවති උත්සවයේදී ජනපති කියයි

මෙතැනින් රටට තව තවත් වැඩ ගන්නවා
- හිටපු ජනාධිපතිනි

ආසියාවේ සමඟියට බාධා වන කිසිම කාර්යයක් සඳහා ශ්‍රී ලංකාව අනුබල නොදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ ආසියාවේ ඉදිකළ ප්‍රථම සම්මන්ත්‍රණ ශාලාව වන කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවට වසර 50ක් පිරීම නිමිත්තෙන් පෙරේදා (10) පස්වරුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ප්‍රධාන ශාලාවේ පැවති උත්සවයට සහභාගි වෙමිනි. බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඉතිහාසය පිළිබඳ ලියවුණු ග්‍රන්ථයක් ද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය. බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ඉදිකර වසර 50ක් පිරීම නිමිත්තෙන් රුපියල් 25ක් වටිනා සමරු මුද්දරයක් නිකුත් කිරීමද මෙහිදී සිදු කෙරිණි.

ආසියානු භූ දේශපාලනය සහ පැසිපික් කලාපයේ දේශපාලනය අතර බොහෝ වෙනස්කම් තිබෙන බවත් එම වෙනස්කම් හඳුනා ගනිමින් සාමය හා ස්ථාවරත්වය රැක ගැනීමට කටයුතු කළ යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ඉදිරි දශක දෙකේදී ශ්‍රී ලංකාව ශක්තිමත් ආර්ථිකයක් ඇති රටක් ලෙස ඉදිරියට ගෙනයෑමට නම් නොබැඳි ප්‍රතිපත්තිය, පංචශීලය හා ආසියානු ප්‍රතිපත්තිය ප්‍රයෝජනයට ගත යුතු බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

නොබැඳි ප්‍රතිපත්තිය, පංචසීලය හා ආසියානු ප්‍රතිපත්තිය ප්‍රයෝජනයට ගනිමින් ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යා හැකියි. එම පොදු කරුණු අදටත් වලංගුයි. මේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ආසියාවේ සමඟිය සම්බන්ධයෙන් පෙන්වා දිය හැකි හොඳ උදාහරණයක්.

මෙය අපට ලැබුණේ ත්‍යාගයක් ලෙසයි. ආසියාවේ පවතින සමඟිය අප මෙලෙසින්ම ඉදිරියටත් පවත්වාගෙන යා යුතු බවත් මම කියන්න කැමතියි. ලෝක බල අරගලයේ දී අසමඟියට පත් කළ නොහැකි වී ඇත්තේ ඉන්දියානු සාගරයේ රටවල් පමණක් බවත් මෙහිදී සිහිපත් කළ යුතුයි.

ලෝක බලවතුන් වීමේ අභිලාෂයෙන් ඇතැම් කණ්ඩායම් පැසිෆික් සාගරයේ රටවල් අතර සමඟිය යටපත් කරමින් යුදමය තත්ත්වයකට ඇද දමා තිබෙනවා. එය ඉන්දියානු සාගරයට පැමිණීම වැළැක්වීමට අප එක්ව කටයුතු කළ යුතුයි.

ශ්‍රී ලංකාවේ හමුදාව අප්‍රිකානු කලාපයේ සහ වෙනත් රටවල රාජකාරියේ යොදවා තිබෙනවා. එම රටවල ආරක්ෂාව තහවුරු කර ගැනීමට මෙන්ම මුහුදු මංකොල්ලකරුවන්ගෙන් එම රටවල් මුදා ගැනීමට අපේ හමුදාව පුළුල් දායකත්වයක් සපයනවා.

එස්.ඩබ්ලිව්.ආර් .ඩී බණ්ඩාරනායක ජාතික අනුස්මරණ පදනමේ සභාපති හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය-

මේ ස්ථානය රටේ ඉතා වැදගත් ස්ථානයක්. ජාතික සමුළු ඇතුළු බොහෝ දේවලට මේ ස්ථානයෙන් ඓතිහාසික වටිනාකමක් ලබා දුන්නා.

සම්මන්ත්‍රණ ශාලාවේ තිබෙන විශාල ඉඩකඩින් උපරිම ප්‍රයෝජනය ගැනීම පිළිබඳව ජනාධිපතිවරයා මගෙන් ඇසුවා. එය ඉතාම සාධාරණයි. එතුමාට මා ස්තුතිවන්ත වෙනවා. මා පොරොන්දු වෙනවා ඉදිරියේදි තව තවත් මේ ස්ථානයෙන් රටට ප්‍රයෝජන අත්කර දෙන්න.

වසර 50ක කාලයේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවට උත්සව හා ප්‍රදර්ශන අංශවලින් වැඩි ආදායමක් දුන් ආයතනවලට මෙහිදී සමරු තිළිණ ලබාදීම ද සිදු කෙරුණි. ප්‍රදර්ශන අංශය වෙනුවෙන් පොත් ප්‍රකාශකයන්ගේ සංගමයත්, උත්සව අංශය වෙනුවෙන් බ්‍රිටිස් කවුන්සිල් ආයතනයත් ජනාධිපතිවරයා අතින් මෙහිදී සමරු තිළිණ ලබා ගත්හ.

අගමැති දිනේෂ් ගුණවර්ධන, අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, විදුර වික්‍රමනායක, රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂැංහොන්ග් (Qi Zhenhong), ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න, ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ, ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අධ්‍යක්ෂ සුනිල් දිසානායක මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප නිශ්ශංක විජේරත්න සහ ජනාධිපති මාධ්‍ය අංශය

නව අදහස දක්වන්න