ඩෙංගු වසංගත තත්ත්වයට ළං වෙයි | දිනමිණ

ඩෙංගු වසංගත තත්ත්වයට ළං වෙයි

සන්ධ්‍යා කරුණාරත්න

ඩෙංගු ආසාදිතයන් 2,000ක් පමණ මේ වන විට සතියකට වාර්තා වන බවත්, දැනට වාර්තා වන ඩෙංගු ආසාදිතයන්ගෙන් 50%ක්ම ඩෙංගු වයිරස් කාණ්ඩ තුන වැලඳුණු පුද්ගලයන් බවත්, මේ වන විට ආසාදිතයන්ගේ වාර්තා වීම වසංගතයක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිමල්කා පන්නිලහෙට්ටි මහත්මිය පැවසුවාය.

කොළඹ - 07, ප්‍රජා වෛද්‍ය විශේෂඥයින්ගේ සංගම් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඒ මහත්මිය මේ බව ඊයේ (11) පැවැසුවාය. වර්ෂයේ ආරම්භයේ සිට මේ දක්වා ඩෙංගු ආසාදිතයන් 32,600ක් පමණ වාර්තා වී ඇති බවත් මරණ 16ක් සිදුව ඇති බවත් ඇය මෙහිදී පැවසුවාය.

ඩෙංගු ආසාදිත දරුවන් 40ක් පමණ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඩෙංගු රෝගයට ගොදුරු වූ දරුවන්ගේ අක්මාවට හානි වීම වැළැක්වීම සඳහා මවුපියන් වගකීමෙන් ක්‍රියා කළ යුතු බවත් ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසුවේය. ඩෙංගු ආසාදිත දරුවන් සුවපත් වුවත්, එම දරුවන් සති දෙක-තුනක් යන තෙක් මහන්සි නොකළ යුතු බවත් දරුවාගේ අක්මාවට හානි වුව හොත් එය මොළයට බලපෑ හැකි බවත් ඒ මහතා කීය.

නව අදහස දක්වන්න