පිටි දුම්රිය පීලි පනී | දිනමිණ

පිටි දුම්රිය පීලි පනී

ත්‍රිකුණාමලය චීන වරායේ සිට සීදූව බලා ධාවනය වූ ප්‍රීමා පිටි දුම්රිය ඊයේ (12) අලුයම මහව දුම්රිය ස්ථානයේදී පීලි පැනීම නිසා දුම්රිය ධාවනයට බාධා එල්ල විය.

මේ හේතුවෙන් කොළඹ කොටුව සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය, මඩකළපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වන පුලතිසි නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය හා මහව සිට මඩකළපුව බලා ධාවනය වන මිශ්‍ර දුම්රිය ප්‍රමාද වී ධාවනය කිරීමට සිදුවිය.

අලුයම ධාවනය කිරීමට නියමිතව තිබුණු තැපැල් දුම්රිය පාන්දර 5.15 ට පමණ ප්‍රමාදව ධාවනය කෙරිණි.

දුම්රිය පීලි පැනීම නිසා මාර්ගයට හානි සිදුව නොමැති අතර, දුම්රියේ ගාඩ් පෙට්ටියේ රෝද කට්ටල දෙකක් හා පිටි රැගෙන යන එක පෙට්ටියක රෝදයක් පීලි පැන තිබේ.

නැඟෙනහිර දුම්රිය මාර්ගයේ ධාවනය වන දුම්රිය මහව මංසන්ධියේදී මාරුකර යැවෙන අතර, ප්‍රීමා පිටි දුම්රිය දිග නිසා දුම්රිය පෙට්ටි හතරක් ඉවත් කර මාර්ගය විවෘත කර දුම්රිය ධාවනයට කටයුතු කිරීමට හැකි වූ බව දුම්රිය ප්‍රකාශකයකු පැවසීය. මේ වන විට දුම්රිය ගමනාගමනයට බාධා සිදුව නොමැති අතර, දුම්රිය පීලි ගතකිරීමට සිදු වන ප්‍රමාදය හේතුවෙන් දුම්රිය කීපයක් ප්‍රමාදව ධාවනය කිරීමට සිදු විය හැකි බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

දුම්රියේ ගමන් ගන්නා මඟීන්ට සිදු වන ප්‍රමාදයන්ගෙන් වන අපහසුතාවන් වළක්වා ගැනීමට වෙනත් විකල්ප මාර්ග සලසා ගන්නා ලෙස දන්වා සිටී.

 

මහව - සංජීවනී ආරියරත්න

නව අදහස දක්වන්න