සෞඛ්‍ය ඇමති කෙහෙළියට රට යන්න උසාවියෙන් අවසර | දිනමිණ

සෞඛ්‍ය ඇමති කෙහෙළියට රට යන්න උසාවියෙන් අවසර

 

රාජ්‍ය තාන්ත්‍රික සමුළු හා විවිධ රාජකාරී කටයුතු කිහිපයකට සහභාගි වීම සඳහා සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට විදේශගත වීම සඳහා කොළඹ මහාධිකරණය ඊයේ (12) අවසර ලබා දුන්නේය.

පොදු රාජ්‍ය මණ්ඩලයීය සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුවට සහභාගිවීමට ඉන්දුනීසියාව බලා පිටත්වීමට හා රාජකාරි කටයුත්තක් සඳහා රුසියාව බලා පිටත්වීමට අවසර ලබා දුන් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා රඹුක්වැල්ල මහතාගේ විදේශ ගමන් බලපත්‍රය නොවැම්බර් 30 දින දක්වා තාවකාලිකව මුදාහරින ලෙසට නියෝග කළේය.

අමාත්‍යවරයා ඇතුළු තිදෙනකුට එරෙහිව කොළඹ මහාධිකරණයේ විභාගවන අල්ලස් නඩුවේ ඇප කොන්දේසි ප්‍රකාරව විදෙස් ගමන් තහනම් කර ඇති හෙයින් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම අවසරය ලබා දුන්නේය.

මෙම අල්ලස් නඩුව ජූලි මස 6 වෙනි දින කැඳවීමට නියමිත අතර, එම දිනයේදී විත්තිකාර රඹුක්වැල්ල මහතා ශ්‍රී ලංකාවේ නොසිටියහොත් නඩු විභාගයට පෙනී සිටීමට බලය නීතිඥවරයාට ලබාදීමට ද ඇමැතිවරයා මෙහිදී එකඟ විය.

සෞඛ්‍ය ඇමතිවරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා කරුණු ඉදිරිපත් කළේය.

රෝෂන් තුෂාර

නව අදහස දක්වන්න