වාස්ට එරෙහි නඩුව ද්වේෂ සහගතයි විත්තිකරුවෙක් අධිකරණයට පවසයි | දිනමිණ

වාස්ට එරෙහි නඩුව ද්වේෂ සහගතයි විත්තිකරුවෙක් අධිකරණයට පවසයි

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට එරෙහි පීඩාකාරි අවි පනත යටතේ පැවරූ නඩුව ද්වේෂ සහගතව පැවරූ නඩුවක් බවත් එම නඩුවේ විමර්ශන නිලධාරියාද දැනට විත්තිකරුවකු වී ඇතැයි නඩුවේ විත්තිකරුවෙක් ඊයේ (12) විවෘත අධිකරණය හමුවේ පවසා සිටියේය.

ගිනි අවි නීති විරෝධි ලෙස ළඟ තබාගත් බව පවසමින් 2016 වසරේ නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු සැකකරුවන් 7 දෙනකුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවරා තිබූ නඩුවක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ මහතා හමුවේ ඊයේ (12) කැඳවූ අවස්ථාවේ විත්තිකරු මේ බව පවසා සිටියේය. නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු සැකකරුවන් 7 දෙනකු මේ නඩුව සඳහා වසර 8කට ආසන්න කාලයක් නිකරුණේ රක්ෂිත බන්ධනාගාරගතව සිටින බවත් ඉදිරි විමර්ශනයක් හෝ පැමිණිල්ලක් මේ දක්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගොනු කර නැති බව සඳහන් කළේය.

මොහොමඩ් සියාම් ඝාතන නඩුවේ මරණ දඬුවම හිමි නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු සැකකරුවන් මේ නඩුවේ සැකකරුවන් වන අතර අභියාචනාවක්ද තමන්ට ඉදිරිපත් කිරීමට මේ නිසා හැකියාවක් නැති බවට විත්තිකරු සඳහන් කළේය. පීඩාකාරි අවි පනත යටතේ පවරා ඇති මේ නඩුව ප්‍රකාශයක් පමණක් ගෙන ඇති බවත් වසර 8ක කාලයක් නිකරුණේ රක්ෂිත බන්ධනාගාරගතව සිටින තමන් ඇතුළු සෙසු සැකකරුවන් මේ නඩුවෙන් මුදා හරින ලෙස විත්තිකරු අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එලෙස මුදාහරින්න තමන්ට බලයක් නැති බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා නීතිපතිවරයා වෙත සිහිකැඳවීම් ලිපියක් යොමු කිරීමට නියෝග කළේය. හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුතු වන රවිඳු ගුණවර්ධන, දිනූෂ වාස් ගුණවර්ධන, බිරිය වන චාමලි ගුණවර්ධන, පොලිස් නිලධාරීන් වන ඉන්දික බමුණුසිංහ, ක්‍රිෂාන්ත සංජීව, කැලුම් රංගන යන අය මේ නඩුවේ සැකකරුවෝ වෙති.

සිරන්ජනී කුමාරි

නව අදහස දක්වන්න