පුංචි ඡන්ද කෙටුම්පත ව්‍යවස්ථාවට එකඟද? ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායකට | දිනමිණ

පුංචි ඡන්ද කෙටුම්පත ව්‍යවස්ථාවට එකඟද? ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායකට

පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති පළාත් සභා මැතිවරණ (සංශෝධන) පනත් කෙටුම්පතෙහි ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ සිය තීන්දුව පාර්ලිමේන්තුව කථානායකවරයා වෙත දන්වා යැවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (12) තීරණය කළේය.

එම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කළ විශේෂ පෙත්සම් දෙකක් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මේ බව ප්‍රකාශ කරන ලදි.

බුවනෙක අලුවිහාරේ, යසන්ත කෝදාගොඩ, අචල වෙංගප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ මේ පෙත්සම් සම්බන්ධ කරුණු සලකා බැලීම සිදු කෙරිණ. එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ කණිෂ්ක විතාරණ මහතා අධිකරණයට පෙන්වා දුන්නේ මේ යෝජිත පනත් කෙටුම්පත මඟින් ජනතාවගේ ඡන්ද අයිතියට ඍජු බලපෑම් එල්ල වන බවයි.

2017 වසරේදී හඳුන්වා දෙන ලද පළාත් සභා මැතිවරණ පනත සංශෝධනයට ලක් කිරීමක් මෙම පනත් කෙටුම්පත මඟින් සිදු කරන බව ඒ මහතා කීය. කොට්ඨාස සහ සමානුපාතික මිශ්‍ර ක්‍රමය එම පනත මඟින් හඳුන්වා දුන් අතර, මේ නව පනත් කෙටුම්පත නිසා එම ක්‍රමය අහෝසි වී යන බව එහිදී පෙන්වා දෙන ලදි.

එසේම පළාත් සභාවේ 25%ක් නියෝජනය කාන්තාවන්ගෙන් යුතු විය යුතු බවට අදාළ පනත මඟින් හඳුන්වා දී තිබූ අතර, එම කරුණද මේ නව පනත් කෙටුම්පත මඟින් සංශෝධනයට ලක් කර ඇති බව ඒ මහතා පෙන්වා දුන්නේය. මේ පනත් කෙටුම්පතේ ඇතුළත් 2, 3, 4 වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 4, 12(1), 85, 76, 80 ඇතුළු විධිවිධාන කිහිපයකට පටහැනි බවට එහිදී කරුණු ඉදිරිපත් කෙරිණි.

වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා සහ ව්‍යාපාරික කාන්තාවක මෙන්ම දේශපාලන ක්‍රියාකාරිනියක වන ජෙහාන් හමීඩ් විසින් මේ පෙත්සම් ගොනු කර තිබිණි. නීතිපතිවරයා සහ මේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටියහ.

නව අදහස දක්වන්න