මුහුද විනාශ කළොත් නීතිය තදයි | දිනමිණ

මුහුද විනාශ කළොත් නීතිය තදයි

නීතිඥ අසේල බී. රැකව සභාපති, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය

සුපිරිසිදු වෙරළ තීරයක් සමඟින් නීරෝගිමත් සාගරයක් දායාද කිරීම, විනාශ වී යන කොරල් පද්ධතිය රැක ගැනීම සඳහා කොරල්පර නැවත රෝපණය කිරීම, කඩොලාන නැවත රෝපණය කිරීම, ගංගා ඇළ-දොළ හරහා ප්ලාස්ටික් අපද්‍රව්‍ය සාගරයට එක්වීම වැළැක්වීමට කටයුතු කිරීම, අපද්‍රව්‍ය මුදා හැරීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම ආදී කටයුතු රාශියකට ක්‍රියාකාරී දායකත්වයක් ලබාදෙන සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පිළිබඳව එහි සභාපති නීතිඥ අසේල බී. රැකව මහතා සමඟ පැවැත්වූ සාකච්ඡාවකි.

සාගර දූෂණය වහා නැවැත්විය යුතුයි

 සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න පිරිසිදු වෙරළ තීරය ඉතා වැදගත්

පෞද්ගලික අංශයටත් වෙරළ සංරක්ෂණ ක්‍රමවේද අපි දැන් සකස් කරනවා

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වන්දිය ලබා ගැනීම සම්බන්ධයෙන් ඔබ ආයතනයටත් චෝදනා එල්ල වෙනවාද?

ඒ සම්බන්ධයෙන් එල්ලවන අල්ලස් චෝදනා පිළිබඳව සොයා බැලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබෙනවා. ආයතනයේ කවුරුන් හෝ වරදක් කර තිබෙනවා නම් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. එක්ස්ප්‍රස් පර්ල් සම්බන්ධ කටයුතු සඳහා අවශ්‍ය වාර්තාවක් නීතිපති දෙපාර්තමේන්තුවට අප ලබාදී තිබෙනවා. ඉදිරියටත් අවශ්‍ය සහයෝගය දෙනවා.

 

අපේ රටේ ගංගා හා ඇළ දොළවලින් අපද්‍රව්‍ය විශාල ලෙස සාගරයට එකතු වෙනවා නේද?

මේ රටේ වෙරළේ සහ මුහුදේ දූෂණය අපි නැවැත්විය යුතුයි. මේක භාරදුර කාර්යයක්. ගංගා හා ඇළ දොළවලින් විශාල ලෙස මුහුදට ප්ලාස්ටික් සහ වෙනත් අපද්‍රව්‍ය පැමිණෙනවා. මේක විශාල ගැටලුවක්. ඒ නිසා එවැනි තත්ත්වයන් වැළැක්වීමට අප දැඩි අවධානය යොමු කරන්න ඕනෙ.

 

එවැනි ගැටලු පිළිබඳව අවධානය යොමු කරන්න පමා වුණාද?

මම මේ ආයතනයේ රාජකාරි භාරගෙන තවම ඉතා ටික කාලයයි. මෙම ආයතනය පසුගිය කාලපරිච්ඡේදයේදී අපේ රටේ මුහුදු කලාපයේදී මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වැනි කටයුතු කෙරෙහි තමා වැඩි අවධානය යොමු කර තිබෙන්නෙ. මේ ආයතනයෙන් විය යුතු තවත් අත්‍යවශ්‍ය වැඩ කටයුතු අමතක කර තිබෙනවා. සමහරු දැන් මා සමඟ ප්‍රකාශ කරනවා මේ ආයතනයේ දුරකතන ඇමතුමක්වත් ගන්න කෙනෙක් සිටියෙ නැහැ කියා.

 

වෙරළ සහ මුහුද ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් තිබෙන නීතිය නිවැරදිව ක්‍රියාත්මක නොවීම වෙරළ සහ මුහුද අපවිත්‍ර වීමට හේතුවක්ද?

වෙරළේ සහ මුහුදේ ආරක්ෂකයා වශයෙන් ක්‍රියා කරන අප ආයතනයට වෙරළ, මුහුද විනාශ කිරීමට කටයුතු කරන අය බිය විය යුතුයි. පරිසරය සුරකින්න කියා බෝඩ් ගැහුවට සමහර මිනිස්සු ඒක තේරුම් ගන්නෙ නැහැ. ඒ නිසා අප නීතිය තදින් ක්‍රියාත්මක කරන්න ඕනෙ. මම ඒ සඳහා සූදානම්.

 

මුහුද සහ වෙරළ ආරක්ෂණ කටයුතු කරන්නෙ කොහොමද?

මම දැන් පුද්ගලික අංශය සමඟ කතාකරලා වෙරළ සහ මුහුද ආරක්ෂා කිරීමේ වැඩසටහන් සකස් කරමින් සිටිනවා. දූෂිත වෙරළ පිරිසිදු කිරීම, ගංගාවලින් පැමිණෙන අපද්‍රව්‍ය මුහුදට එකතුවීම වැළැක්වීම පිළිබඳව ඔවුන් සමඟ සාකච්ඡා කරනවා. ඒ වගේම මොබයිල් ඇප් එකක් අප නිර්මාණය කරගෙන යනවා. ඒකෙන් රට වටේම මුහුදු වෙරළ පිළිබඳව විස්තර දැනගත හැකියි. ඒ නිසා ඕනෑම පෞද්ගලික ආයතනයකට වෙරළ පිරිසුදු කිරීම සඳහා තමන්ට සුදුසු ප්‍රදේශයක් තෝරා ගන්න පුළුවන්. ඒ වගේම එම ඇප් එක හරහා කවුද වෙරළ සුද්ද පවිත්‍ර කිරීම කරන්නෙ කියා අපටද දැන ගන්න පුළුවන්. මොකද, කවුරුන් හෝ වෙරළ පිරිසිදු කරන සමහර අවස්ථාවලදී එය සිදු කරන්නෙ කුමන ආයතනයක් දැයි අපේ ආයතනය දන්නෙ නැහැ. එම කුණු ඉවත් කරන්නෙ කුමන ස්ථානයටද කියා දන්නෙ නැහැ. එවිට ගැටලු ඇති වෙනවා.

 

වෙරළ සහ සාගරය පිරිසිදු කරන්න පෞද්ගලික ආයතනවල දායකත්වය කෙසේද?

වෙරළ පිරිසිදු කිරීමට පෞද්ගලික ආයතනවල විශාල දායකත්වයක් තිබෙනවා. ඔවුන්ව එම කටයුත්ත සඳහා එක්කර ගැනීමේ කටයුත්ත මේ ආයතනය සිදු කර තිබෙන්නෙ ඉතා දුර්වල අන්දමින්. එම තත්ත්වය නැති කිරීමට මම මේ වන විට කටයුතු කරමින් සිටිනවා. ආයතනයේ පවතින විවිධ දුර්වලතාවන් නැති කිරීම කෙරෙහි මා දැඩි අවධානය යොමු කරනවා. වෙරළ සංරක්ෂණය කිරීමට මෙරට තිබෙන ඇතැම් පෞද්ගලික සමාගම්වලට විදේශ රටවල එම සමාගම්වල මවු සමාගම්වලින් මුදල් ලබා දෙනවා. ඇතැම් සමාගම් ඔවුන්ගේ වාර්ෂික වාර්තාවලින් පරිසරය රැකගැනීම සම්බන්ධයෙන් කරන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් වාර්ෂිකව මුදල් වෙන් කරනවා. මේ වන විට සිදුවී තිබෙන්නෙ එම සමාගම්වලට කිරීමට වැඩසටහන් නැතිවීම.

 

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරත් සමඟ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට විදේශවලින් වෙරළ සුද්ද පවිත්‍ර කිරීමට විවිධ උපකරණ ලැබුණා නේද?

වෙරළ සුද්ද පවිත්‍ර කිරීමේ උපකරණ අප සතුව තිබෙනවා. වෙරළ සුද්ද පවිත්‍ර කරන සමාගම්වලට මෙම යන්ත්‍රෝපකරණ යම් මුදලක් ගෙවා පැය ගණනකට වෙන්කර ගන්න පුළුවන්.

 

නැවතත් එක්ස්ප්‍රස් පර්ල් වැනි තවත් නෞකාවක් අපගේ මුහුදු තීරයේදී මුහුදුබත් වුණොත් මොකද කරන්නෙ?

මම නීතිඥවරයෙක්. හැබැයි මගේ ක්ෂේත්‍රය වෙනස්. හෙට දවසේ මෙවැනි දෙයක් වුණොත් අප එයට මුහුණදිය යුතුයි. ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් තිබිය යුතුයි. මම මේ ආයතනයට පැමිණි පසු මෙහි නිලධාරීන්ගෙන් එවැනි දෙයක් වුණොත් කුමක්ද කරන්නෙ කියා විමසුවා. ඔවුන් මට පිටු 60ක විතර පොතක් ගෙනත් පෙන්නුවා. නැවක තෙල් මුහුදට වැටීම පිළිබඳව ගැටලුවක් ඇති වුණොත් එහි පිළිතුරු තිබෙන බව කීවා. මෙය හදා තිබෙන්නෙ 2006 යයි පැවසුවා. මම ඔවුන්ගෙන් ඇහුවා තෙල් විතරක් නොවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය විශාල තොගයක් නැවක් මුහුදුබත් වීමෙන් මුහුදට එකතු වෙනවානම් කරන්නෙ මොකක්ද කියා. මොකද පිටු හැටේ පොතේ තිබෙන්නෙ තෙල් කාන්දුවක් ගැනයි.

 

එවැනි තත්ත්වයක් පැවතීම විශාල ගැටලුවක් නේද?

ඔව්, එම තත්ත්වයට කඩිනම් පිළිතුරක් ලබා දෙන්න ඕනෙ. පසුගිය දිනවල ලෝක ආහාර සංවිධානයේ කණ්ඩායමක් මා හමුවීමට පැමිණියා. ඔවුන් මා හා ප්‍රකාශ කළා වෙරළ සහ සාගරය සංරක්ෂණ කටයුතු සඳහා මුදල් ලබාදීමට කැමැති බව. ඒ නිසා අප තීරණය කළා නැවකින් තෙල් විතරක් නොවේ විවිධ අපද්‍රව්‍ය සාගරයට එකතුවීමේදී ගත යුතු පියවර පිළිබඳව නව සැලැස්මක් හදන්න. එවිට අපගේ සාගර ප්‍රදේශයට සිදුවන සියලුම පරිසර හානි සම්බන්ධයෙන් අපට ක්‍රියා කරන්න පුළුවන්. යුරෝපීය සංගමයේ තානාපතිවරයාද මට හමු වුණා. වෙරළ සංරක්ෂණය සම්බන්ධයෙන් අපට කුමන උදව්වක්ද අවශ්‍ය කියා ඔහු විමසුවා. ඔහු පොරොන්දු වුණා අපගේ මුහුදු කලාපයේ යම් පරිසර හානියක් වුණොත් එම අවස්ථාවේ සිට අදාළ වැරැද්ද සිදු කළ පාර්ශ්වයට නඩු පවරන අවස්ථාව දක්වා ක්‍රියාකිරීමට මෙරට කණ්ඩායමක් පුහුණු කිරීමට කණ්ඩායමක් එවන බව. මේ සඳහා මුදල් අය කිරීමක් සිදුවන්නෙ නැහැ.

 

සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමේදී පිරිසිදු වෙරළ තීරය ඉතා වැදගත්නේ?

ඔව්, ජනාධිපතිවරයා රට වටේ පිරිසිදු වෙරළ තීරයක් ඇති කරන ලෙස උපදෙස් ලබා දෙනවා. සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න පිරිසිදු වෙරළ තීරයක් ඉතා වැදගත්. ශ්‍රී ලංකාව දියුණු රටක් බවට පත් කිරීමේදී එවැනි කරුණු ඉතා වැදගත්. සමුද්‍ර පරිසර දූෂණ වැළැක්වීමේ පනත ද අප ඉදිරියේදී වෙනස් කරනවා. සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න පිරිසිදු වෙරළ තීර ඉතා වැදගත්.

 

විවිධ අපද්‍රව්‍ය හේතුවෙන් කඩොලාන පද්ධතියත් විනාශ වෙනවා නේද?

කොරල් සහ කඩොලාන පද්ධති අප ආරක්ෂා කරන්න ඕනෙ. ඒවා සංවර්ධනය කිරීම සඳහා අප මුදල් වැය කරනවා. මුහුදේ හඳුනා ගන්නා ලද ස්ථානවල කොරල් විශේෂ රෝපණය කරනවා. මෙම කටයුතු දැනට මිරිස්ස, උප්පුවේලි ආදී ප්‍රදේශවල සිදු කර තිබෙනවා.

 

රට වටේ ගිලී තිබෙන නැව් යොදා සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න පුළුවන් නේද?

ඔව්. එම නැව් බැලීමට කිමිදීමට කැමැති පිරිස් ලෝකයේ සිටිනවා. එවැනි අවස්ථා ඔවුන්ට ලබාදිය යුතුයි.

 

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට ආපදා කළමනාකරණ අංශයක් නැහැ නේද?

නැවක් මුහුදුබත් වී ගිලුණාට පසුව එයින් ඇතිවන තත්ත්වය පිළිබඳව සොයා බැලීමට, ක්‍රියා කිරීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට සමුද්‍ර ආපදා කළමනාකරණ මෙහෙයුම් මැදිරියක් පැය 24 පුරාම විවෘතව තැබීමට ඉදිරියේදී ක්‍රියා කරනවා. මේ සඳහා නාවුක හමුදාව ඇතුළු අදාළ අංශයන් සම්බන්ධකර ගන්නවා. මෙමඟින් අපට අයිති මුහුදු කලාපය, වෙරළ තීරය ගැන සොයා බලනවා.

 

ඉදිරියේදී ක්‍රියාත්මක කරන නව වැඩපිළිවෙළ මොනවාද?

බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන ආයතනය හා සම්බන්ධ වී සමුද්‍ර පරිසර ආරක්ෂණය පිළිබඳව ඩිප්ලෝමා පාඨමාලාවක් අප ආරම්භ කරනවා. මෙම ක්ෂේත්‍රයට තරුණ පිරිස් ඉතා කැමැතියි. සීරෝ ප්ලාස්ටික් ක්ලබ් කියා වැඩසටහනක්ද මේ රටේ ක්‍රියාත්මක වෙනවා. විශ්වවිද්‍යාවල අන්තරේ ළඟට තිබෙන්නෙ මේ කල්බ් එකලු. තේරුමක් නැති දේශපාලනයට වඩා මෙවැනි දේ අගයන්න ඕනෙ. මෙම වැඩපිළිවෙළ සීරෝ ප්ලාස්ටික් සොසයිටි කියා පාසැල්වල පිහිටවමු කියා එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන මහත්මයාට මා යෝජනා කළා.

 

මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් වෙරළට මේ වන විටද ප්ලාස්ටික් අපද්‍රව්‍ය පැමිණෙනවා. ඒවා සුද්ද පවිත්‍ර කිරීමට අදාළ නැව් සමාගමේ රක්ෂණ සමාගම ලබා දුන් මුදල් මේ වන විට නවතා තිබෙනවාද?

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව නිසා අපවිත්‍ර වූ මුහුදු තීරය අප සුද්ද පවිත්‍ර කරනවා. තවමත් ප්ලාස්ටික් වෙරළට පැමිණෙනවා. අදාළ නැවේ රක්ෂණ සමාගම අප කරගෙන යන එම සුද්ද පවිත්‍ර කිරීමේ වැඩවලට මුදල් ලබා දුන්නා. දැන් ඔවුන් පොඩි ප්‍රශ්නයක් දමා එම මුදල් ලබා නොදෙන බව පවසා තිබෙනවා. දැන් ඒ මුදල් ගෙවන්නෙ නැහැ. මම අදාළ රක්ෂණ සමාගමට ඒ සම්බන්ධයෙන් ලිපියක් ලිව්වා.

 

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ කාර්යාලයක් ක්‍රියාත්මක වෙනවා නේද? එහි කාර්යය පිළිබඳව කතා කළොත්?

වරායේ අපට තිබෙන කාර්යාලය නැවත ප්‍රතිසංස්කරණය කළ යුතුයි. මෙරටට පැමිණෙන හැම නැවකින්ම අපේ කාර්යාලයෙන් යම් මුදලක් අය කරනවා. ඒ නිසා ඔවුන් එම නැව්වල තිබෙන අපද්‍රව්‍ය අපේ රටට දැමීමට පෙලඹෙනවා. එහිදී අපට රුපියල් 5000ක් ලැබෙනවා. තෙල්වලින් අදාළ ප්‍රමාණ අනුව යම් මුදලක් ලැබෙනවා. මෙම මුදල් වැඩි කිරීමට පියවර ගන්නවා.

 

උපාලි කරුණාරත්න,

සුභාෂිනී සේනානායක

නව අදහස දක්වන්න