එදා අප ගත් පියවරෙන් ශ්‍රී ලංකාව දියුණු රටක් වී ඇතැයි තව වසර 25කින් ඔබම පවසාවි | දිනමිණ

එදා අප ගත් පියවරෙන් ශ්‍රී ලංකාව දියුණු රටක් වී ඇතැයි තව වසර 25කින් ඔබම පවසාවි

පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාවල තරුණ තරුණියන් අමතමින් ජනපති කියයි

ජනපති දුන් ප්‍රතිඥාව එලෙසින්ම ඉටු කළා - අගමැති

දේශපාලන ඉතිහාසයේ නව හැරවුම් ලක්ෂ්‍යයක් -කථානායක

සුබවාදී ධනාත්මක ඇරඹුමට ප්‍රශංසා කළ යුතුමයි  -විපක්ෂනායක

 

ශ්‍රී ලංකාව දියුණු රටක් බවට පත්ව ඇත්තේ එදා තමන් ගත් පියවර නිසාවෙන් බව තවත් වසර 25කින් මේ රටේ තරුණ තරුණියන්ට ආඩම්බරයෙන් ප්‍රකාශ කළ හැකිවනු ඇතැයි ජනාධිපති රනිල්

වික්‍රමසිංහ මහතා පැවසීය.

2048 සංවර්ධිත ශ්‍රී ලංකාවක් කරා යන ගමනට උපරිමයෙන් දායක වීමට තරුණ තරුණියන්ට අවස්ථාව සලසා දී ඇති බවත් පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා සඳහා සහභාගි වීමට තරුණ නියෝජිතයන්ට අවස්ථාව සලසා දීම එහි සුවිශේෂ පියවරක් බවත් සඳහන් කළ ජනාධිපතිවරයා එය මෙතෙක් ලොව කිසිදු රටක සිදු නොවූවක් බව ද අවධාරණය කළේය.

තරුණ පරපුර ඉල්ලා සිටි ක්‍රම වෙනස මෙය වන අතර එම අවස්ථාවෙන් ඔවුන් උපරිම ප්‍රයෝජන ලබාගනු ඇති බවට ද ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ පෙරේදා (13) බත්තරමුල්ල වෝටර්ස් එජ් හි පැවැති පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාවල තරුණ නියෝජිතයන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවේ සමාරම්භක අවස්ථාව අමතමිනි.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහාය ඇතිව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් මෙම වැඩමුළුව සංවිධානය කරනු ලැබූ අතර අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නිත්‍ය නියෝජිත අසුසා කුබෝටා යන මහත්ම මහත්මීහු සහ ආංශික අධීක්ෂණ කාරක සභාවලට තේරී පත් වූ තරුණ නියෝජිතයෝ දෙදෙනෙක් ද මෙහිදී අදහස් දැක්වූහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ පාර්ලිමේන්තුවේ වැඩකටයුතුවලට බාහිරින් තරුණ නියෝජිතයන් තෝරාගන්නා ලෝකයේ පළමු අවස්ථාව මෙය බවයි. එබැවින් ක්‍රමය වෙනස් කිරීමට නම් ප්‍රථමයෙන්ම ක්‍රමයට ඇතුළත් විය යුතු බවත් ඒ සඳහා ලැබී ඇති මෙම අවස්ථාව ඓතිහාසික බවත් ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා ලෙසත් තමන් මෙම තරුණ නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටින බවත් ජනාධිපතිවරයා පැවසීය.

සංශෝධනය කළ ස්ථාවර නියෝග යටතේ මෙම තරුණයන්ගේ සහභාගිත්වය සිදු වන්නේ පාර්ලිමේන්තු කමිටු සාමාජිකයන් ලෙස බවත් හුදෙක් නිරීක්ෂකයන් ලෙස නොවන බවත් මෙහිදී ජනාධිපතිතුමා වැඩිදුරටත් පැවසීය. මේ නිසා කමිටුවේ කාර්යන්වලදී මන්ත්‍රීවරුන්ගේ වාර්තාවට අමතරව මෙම තරුණ නියෝජිතයන්ගේ අදහස් ද ඉදිරිපත් කිරීමේ හැකියාව ලැබෙන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

පාර්ලිමේන්තුවේ ස්ථාපිත කරන ලද විෂය ක්ෂේත්‍රයන් 17කට අදාළ ආංශික අධීක්ෂණ කාරක සභා සඳහා මෙම තරුණ නියෝජිතයන් පුවත්පත් දැන්වීම් පළ කිරීමෙන් අනතුරුව තෝරා ගැනීම සිදු විය. මේ අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා වෙත ලැබුණු අයැදුම්පත් අතුරින් තෝරාගත් සුදුසුකම් සහිත අවු. 18ත් – 35ත් අතර වයසේ තරුණ නියෝජිතයන් 550කට ආසන්න පිරිසකට මෙම වැඩමුළුව සඳහා ආරාධනා කරනු ලැබීය.

පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් මෙම ආංශික අධීක්ෂණ කාරක සභා ක්‍රියාත්මක වේ. පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද සංශෝධිත ස්ථාවර නියෝගවල විධිවිධාන පරිදි මෙම කාරක සභා විසින් මෙහෙයවනු ලබන විමසීම් සම්බන්ධයෙන් කාරක සභාවලට සහාය වීම සඳහා කාරක සභාවක සභාපතිවරයාට තරුණ නියෝජිතයන් පස් දෙනකු බැගින් කැඳවිය හැකි බැවින් එක් එක් කාරක සභාවට අදාළව තරුණ නියෝජිතයන් තෝරා ගැනීමට අපේක්ෂා කෙරේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැවසීය.

ඔබ සියලුදෙනා තෝරාගෙන ඇත්තේ පාර්ලිමේන්තුවේ වැඩකටයුතුවලට සහභාගි වීමටයි. නිරීක්ෂකයෙක් ලෙස නොවෙයි, පාර්ලිමේන්තු කමිටුවල සිටින තරුණ නියෝජිතයන් ලෙසයි ඔබගේ ඒ සහභාගිත්වය සිදු වන්නේ. මම හිතන්නේ ලෝකයේ පළමු වතාවටයි මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක ‍ෙවන්නේ. පාර්ලිමේන්තු කොමිටියකට, අමෙරිකාවේ සෙනෙට් කොමිටියට, කොංග්‍රස් කොමිටියට සහභාගි විය හැක්කේ ඒවායෙහි මන්ත්‍රීවරුන්ට පමණයි. නමුත් අපේ අගමැතිතුමා, කථානායකතුමා, විපක්ෂ නායකතුමා ඒ සංශෝධනය සිදු කළ ස්ථාවර නියෝග යටතේ තරුණ නියෝජිතයන් ලෙස ඔබට ඒ සඳහා සහභාගි වීමට අවස්ථාව සැලසී තිබෙනවා. අග්‍රාමාත්‍යතුමා සඳහන් කළ ආකාරයට කොමිටියේ මන්ත්‍රීවරුන්ගේ වාර්තාවට අමතරව ඔබේ අදහස් ද එහි ඇතුළත් කිරීමට අවස්ථාව තිබෙනවා. පාර්ලිමේන්තුවේ අපි දකින්නේ සභාගර්භයේ ඇතුළේ වාද විවාද කරන එක, ප්‍රශ්නවලට පිළිතුරු දෙන එක විතරයි. එහෙත් අද ඕනෑම පාර්ලිමේන්තුවක කටයුතු සිදු වන්නේ කමිටු මාර්ගයෙන්.

අධීක්ෂණ කමිටු, මුදල් කමිටු ලෙස කමිටු ගණනාවක් තිබෙනවා. අපි මුදල් අනුමත කරනවා නම් එම මුදල් වියදම් කිරීම පිළිබඳව, නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව සොයා බලන්න අධීක්ෂණ කමිටු තිබෙනවා. ඒ සඳහා රාජ්‍ය මූල්‍ය කමිටු වගේ කමිටු ගණනාවක් තිබෙනවා. ඒ නිසා සභාගර්භයට ඇතුළු වී කතා කිරීම, ඡන්දය ප්‍රකාශ කිරීම හා ආලින්දයට පැමිණීම හැර අනෙක් සියලු කටයුතුවලට ඔබට සහභාගි වීමට අවස්ථාව තිබෙනවා. මෙය ලෝකයේ පළමු වතාවටයි සිදුව තිබෙන්නේ.

අපි මේ වැඩසටහන ආරම්භ කරද්දී ඇතැම් අය කිව්වා මේක මහ බොරු වැඩක්, කාලය නාස්ති කරන වැඩක් කියලා. ඇතැමුන්ට විශාල ප්‍රශ්නයක් තිබුණා මේ මොකක්ද කියලා. එහෙත් පිරිසක් බය නැතිව තමන්ගේ නම් ඉදිරිපත් කළා. මෙහි සිටින කිහිපදෙනකුට පමණයි මේ අවස්ථාව ලැබුණේ.

මම වාසනාවන්ත වුණා වයස අවුරුදු 28දී පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය ඇමැතිකමක් ලබා ගැනීමට. ඊට පෙර එවකට විපක්ෂ නායක ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා සමඟ පාර්ලිමේන්තුවට පැමිණි නිසා පාර්ලිමේන්තුව කෙසේද ක්‍රියාත්මක වෙන්නේ කියා අපට දැන ගැනීමට පුළුවන් වුණා. එහෙත් බොහෝ දෙනකුට එම අවස්ථාව ලැබී නැහැ. අද එම අවස්ථාව ඔබට ලැබී තිබෙනවා. එයින් සම්පූර්ණ ප්‍රයෝජන ලබා ගන්න කියා මම කියන්න කැමැතියි. පසුගිය වසරේ විශාල කැලඹීමක් මේ රටේ තිබුණා. එම අවස්ථාවේදී තමයි මම හිටපු කථානායක කරු ජයසූරිය මැතිතුමා සමඟ සාකච්ඡා කළේ මොකක්ද මෙයට අපි ලබා දෙන පිළිතුර කියලා. මෙයට පෙර කෑගහපු එකකටවත් පිළිතුරක් ලැබුණේ නැහැ. පාර්ලිමේන්තුවේ 225ම දියවන්නා ඔයට දාන්න කිව්වා. එහෙම කළා නම් වෙන්නේ පරිසරයට හානියක් වෙන එක විතරයි. කොහොමත් අනෙක් පක්ෂවලින් තව 225ක් මෙතනට දානවා. ඒ නිසා එය ඇත්ත වශයෙන්ම විසඳුමක් නොවෙයි. ගෙවල් ගිනි තියන එකත් විසඳුමක් නොවෙයි. පාර්ලිමේන්තුව වට කරලා අල්ල ගන්න හදන එකත් විසඳුමක් නොවෙයි. එදා ප්‍රශ්න තිබුණා. ඇයි අපි බංකොලොත් රටක් බවට පත් වුණේ. අපේ ආර්ථිකයට මොකක්ද වුණේ. ඒ ප්‍රශ්න ඇසීමට සිදු වෙනවා. මම කුඩා කාලයේ ලංකාව ජපානයට පමණයි දෙවැනි වුණේ. නමුත් අපි අද කොතනද ඉන්නේ. ඒ අනුව තමයි අපි කොහොමද මේ ක්‍රමය වෙනස් කරන්නේ කියලා මමත්, කරු ජයසූරිය මැතිතුමත් එක්ව සාකච්ඡා කළේ. එතුමා තමයි පසුව මට කතා කරලා කිව්වේ අපි අධීක්ෂණ කාරක සභා සහ අනෙකුත් කාරක සභාවලට තරුණ නියෝජිතයන් ඇතුළත් කරමු කියලා. මම කිව්වා ඒ ගැන මට වාර්තාවක් දෙන්න කියලා. මම ඒක කථානායකතුමාටත් දුන්නා. පක්ෂ නායකයන් ගත්තත්, කැබිනට් මණ්ඩලය ගත්තත් දැන් ඔබ සියලුදෙනා මීට ඇතුළත් වී තිබෙනවා. අපි එතුමාට විශේෂයෙන්ම ස්තුති කළ යුතුයි මේ යෝජනාව ඉදිරිපත් කිරීම පිළිබඳව.

මම හිතන්නේ නැහැ ඔබට මේ ලැබී තිබෙන අවස්ථාව වෙන කිසිවකුට ලැබෙයි කියලා. ආර්ථිකය කඩා වැටිලා, රට බංකොලොත් වෙලා මේ ක්‍රමවේදය සමඟ තවදුරටත් අපට ඉදිරියට යා නොහැකියි කියලා සිතුන අවස්ථාවක විශාල ප්‍රතිව්‍යුහගත කිරීමක් කරනවා. අපේ ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කරනවා. වියදම් අඩු කරනවා. අලුත් ක්‍රමවේද එනවා. දැන් මිල සූත්‍රවලින් තමයි ඉන්ධන ලබා දීම සිදු වන්නේ. ඒ සමඟම අපේ සංස්ථා ගණනාවක් ප්‍රතිව්‍යුහගත කිරීමට තිබෙනවා. අලුත් අධ්‍යාපන ක්‍රමයක් ගැන සිතන්න තිබෙනවා. විශේෂයෙන්ම දේශගුණික විපර්යාස පිළිබඳ නීති 05ක් ගෙන ඒමට ආණ්ඩුව සැලසුම් කර තිබෙනවා. කාන්තා අයිතිවාසිකම් ගැන නීති 03ක්, 04ක් ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. තවත් නව නීති ගණනාවක් තිබෙනවා. එසේ නම් මේ පිළිබඳ සාකච්ඡා කිරීමට ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබේ අදහස් ප්‍රකාශ කරන්න. ඔබ කොහොමද මුදල් වියදම් කරන්නේ, ඇයි මේ විෂයට මුදල් ලබා දුන්නේ, ඇයි අනෙක් විෂයන්ට මුදල් ලබා නොදුන්නේ? මේ සියල්ල ඔබට දැන ගන්න පුළුවන්. ඔබට උදව් කිරීමට දැනට පාර්ලිමේන්තුවේ පර්යේෂණ අංශයක් තිබෙනවා. ඊට අමතරව පාර්ලිමේන්තු අය-වැය කාර්යාලය කියලා අලුත් එකක් අපි ඇති කරනවා. අනෙකුත් අමාත්‍යාංශවලිනුත් සහාය ලබාගත හැකියි. ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රය දේශපාලනය පිළිබඳ අධ්‍යාපනය ලබාදෙන කේන්ද්‍රයක් බවට පත් කිරීමට අපි සැලසුම් කර තිබෙනවා. එසේ නම් ඔබට අවස්ථාව තිබෙනවා මෙයින් සම්පූර්ණ ප්‍රයෝජන ලබා ගැනීමට.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ලෙස, සභාපතිවරු ලෙස අපට එම වැඩකටයුතු කිරීමට තිබෙනවා. අපි සෑම අවස්ථාවකම පාර්ලිමේන්තු සභාගර්භය තුළ මෙය මත ගැටුමක් බවට පත් කර ගත්තේ නැහැ. සමහර විට පක්ෂ ගැටුමක් වුණා. මන්ත්‍රී ගැටුමක් වුණා. අපි දැන් මෙය මත ගැටුමක් බවට පත් කරගත යුතුයි. මේ අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරුන්ටත් මන්ත්‍රීවරුන්ටත් යුතුකමක් තිබෙනවා එම රැස්වීම් පැවැත්වීමට ඒ වගේම ඒවාට සහභාගි වීමට. එදිනෙදා කටයුතු පිළිබඳ පමණක් නොවෙයි, ඒ වැදගත් කරුණු පිළිබඳ ඔවුන් සාකච්ඡා කළ යුතුයි.

මම කථානායකතුමාට යෝජනා කරනවා සෑම මාසයකම මේ කමිටු රැස් විය යුතුයි කියලා. රැස් වීමට නොහැකි වුවහොත් ඒ සභාපතිවරයාගෙන් කරුණු විමසිය යුතුයි කියලා. මන්ත්‍රීවරුන් පැමිණෙන්නේ නැත්නම් එය සොයා බැලිය යුතුයි. මාස දෙකක් පමණ එය සිදුවන්නේ නැත්නම් ඒ අය මාරු කරන්න. නැත්නම් මේ පිරිසට තිබෙන අවස්ථා අහිමි වෙනවා. මෙම ලැබී ඇති අවස්ථාවෙන් ඔබ සම්පූර්ණ ප්‍රයෝජන ලබා ගන්න. මෙය ඓතිහාසික අවස්ථාවක්. පළමු වතාවටයි පාර්ලිමේන්තුවක් මෙලෙස නියෝජිතයන් පත් කරන්නේ. මෙය කොතැනකවත් සිදු වී නැහැ.

විශේෂයෙන්ම කරු ජයසූරිය මැතිතුමා ජනසභා පනත ගෙන එනවා සෑම ග්‍රාමසේවා කොට්ඨාසයකම ජනසභාවක් ඇති කිරීම සඳහා. එමඟින් තරුණ තරුණියන්ට සහභාගි විය හැකි තවත් විශේෂ අවස්ථාවක් හිමි වෙනවා. යොවුන් පාර්ලිමේන්තුව සඳහා තේරීම් බොහෝ දුරට සීමා වී තිබෙනවා. ප්‍රාදේශීය මට්ටමින් තරුණ සංවිධාන සියල්ලම එකතු කරගෙන එම තේරීම් සිදු කිරීම පිළිබඳ ජාතික තරුණ සේවා සභාව දැන් සාකච්ඡා කරමින් සිටිනවා. තවත් නව පියවර ගණනාවක් තිබෙනවා. මෙම ක්‍රමවේදය වෙනස් කළ යුතුයි. එය සිදු කළ හැක්කේ ව්‍යවස්ථාව අනුවයි. ඊළඟ පාර්ලිමේන්තුව පත්වනතුරු බලා නොසිට දැන් අවස්ථාව තිබෙනවා එකට එකතු වී මේ වැඩකටයුතු සිදු කිරීමට. එසේනම් මේ අභියෝගය අපි භාර ගනිමු. ඒ සඳහා සාර්ථක විසඳුම් ලබා දෙමු. තවත් වසර 25කින් ඔබ සියලුදෙනාට කිව හැකියි අපි ගත් පියවර නිසා තමයි අද ලංකාව දියුණු රටක් බවට පත්ව තිබෙන්නේ කියලා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා- සුවිශේෂ අවධියකට දැන් අප සියලු දෙනා පිවිස තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මෙම කාර්ය ඉටු කිරීමට ප්‍රතිඥාවක් ලබා දුන්නා. ඒ ප්‍රතිඥාව ක්‍රියාත්මක කිරීමට අද හැකියාව ලැබී තිබෙනවා. අධීක්ෂණ කාරක සභා 17ක් සඳහා පන්සීයකට අධික තරුණ නියෝජිත පිරිසක් අද එක්ව සිටිනවා. තරුණ තරුණියන්ට මේ අවස්ථාව සැලසීමෙන් අලුත් සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදයකට අප පිවිස තිබෙනවා. සහභාගි ප්‍රජාතන්ත්‍රවාදය තුළින් අලුත් දේශපාලන පරිච්ඡේදයක් නිර්මාණය කිරීමට අප දෙපාර්ශ්වයටම වගකීමක් තිබෙනවා. තරුණයන්ට ඡන්ද බලය දී වසර 60ක් ගත වුණා. මුලින්ම තරුණ පරපුරට ඡන්ද බලය තිබුණේ නැහැ. 1960දී තමයි පළමු වරට තරුණ පරපුරට ඡන්ද බලය දීමේ නීතිය සම්මත වුණේ. රටේ සම්පත් නිසි ලෙස භාවිත නොකිරීම නිසා විශාල නාස්තියක් සිදු වුණා. රටේ සම්පත් පිළිබඳ අධීක්ෂණයක් තිබුණේ නැහැ. උගත් බුද්ධිමත් තරුණ තරුණියන්ගේ දායකත්වය, යෝජනා සාකච්ඡා කිරීම පමණක් නොව, ඒවා ක්‍රියාත්මක කිරීමට ද අවස්ථාව තිබෙනවා. රටේ නීතිය ස්ථාපිත කිරීම, දේශපාලන ස්ථාවරත්වය ඇති කිරීම මෙන්ම අලුත් ආර්ථිකයක් සමඟ රට ඉදිරියට ගෙන යා යුතුයි.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා - අප රටේ දේශපාලන ඉතිහාසයේ ඉතාමත් වැදගත් හැරවුම් ලක්ෂ්‍යයකට පාර්ලිමේන්තුව සහභාගි වීම සතුටට කරුණක්. ඉතිහාසයේ පළමු වතාවට තමයි මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක වෙන්නේ. ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව තමයි තරුණ නියෝජනය මේ සඳහා යොදා ගනු ලැබුවේ. ඈත අතීතයේ යොවුන් පාර්ලිමේන්තුව, ජාතික තරුණ සේවා සභාව ඇති කළේත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා. තරුණ පරපුරේ අදහස් හා යෝජනා රටේ පාලනයට අවශ්‍යයි කියලා එතුමා හැමදාම කල්පනා කළා. මේ කටයුතු සාර්ථක කර ගන්නත් පාර්ලිමේන්තුවේ මහ ලේකම්තුමාත් විශාල දායකත්වයක් ලබා දුන්නා. අපේ රට ඉතාමත් අවාසනාවන්ත යුග කිහිපයක් පසු කරමින් ඇවිත් තිබෙනවා. රටේ තරුණ කැරලි දෙකකට මුහුණ දුන්නා. තිස් අවුරුදු යුද්ධයකට මුහුණ දුන්නා. රටේ කටයුතු යථාවත් කර ගැනීමට අවසානයේ අද විවිධ අත්හදා බැලීම් සිදු කරමින් සිටිනවා.

විපක්ෂ නායක සජිත්

ප්‍රේමදාස මහතා- බොහෝ විට දකින්න ලැබෙන දේශපාලන කේෂ්ත්‍රයේ කතාව එකක්. ක්‍රියාත්මක කිරීම තව එකක්. ආරම්භය සුබවාදී වගේම, ක්‍රියාත්මක කිරීමේදී මෙම වැඩසටහන ප්‍රබුද්ධව, කාර්යක්ෂමව ක්‍රියාත්මක වුණොත් අපේ රටේ හැරවුම් ලක්ෂ්‍යයකට අද දිනය පත් වෙයි කියා මම විශ්වාස කරනවා. විපක්ෂය විදිහට මේ ක්‍රියාදාමය අප දකින්නේ ඉතා සුබවාදීවයි. විපක්ෂයක් ලෙස රාජ්‍ය පාර්ශ්වයේ අඩුපාඩුකම් පෙන්වා දුන්නත් ප්‍රබුද්ධ දේශපාලන ක්‍රමයක් තුළ නිවැරදි, සුබවාදී, හරවත්, ධනාත්මක දෙයක් වෙන විට ඒ දිහා ප්‍රශංසා නොකර අහක බලන් සිටිය නොහැකියි. හොඳ දේ හොඳ යැයි අගය කිරීමට කශේරුවක් තිබිය යුතුයි. ජනාධිපතිතුමා ඇතුළු මේ සියලුදෙනා ගත් මේ තීරණය ඉතා සුබවාදී දෙයක්. බංකොලොත් ශ්‍රී ලංකාව එම බංකොලොත්භාවයෙන් ගොඩ ගන්නා ක්‍රියාදාමයේදී රටට යහපත් දෙයක් වෙනවා නම් එය අගය කළ යුතුයි.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නිත්‍ය නියෝජිත අසුසා කුබෝටා මහත්මිය- ආංශික අධීක්ෂණ කමිටුවල තරුණ නියෝජිතයන් සඳහා වූ වැඩසටහනේ කොටස්කරුවකු වීමට ලැබීම ගැන මම සතුටට පත් වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය පෝෂණය කිරීම සහ තිරසර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමේදී ව්‍යවස්ථාදායකය විසින් ඉටු කරනු ලබන වැදගත් කාර්යභාරය පිළිබඳව අපි තරයේ විශ්වාස කරන නිසා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පාර්ලිමේන්තු ශක්තිමත් කිරීමේ මුලපිරීම් සඳහා සහාය දක්වනවා. ලෝකය පුරා පාර්ලිමේන්තු සමඟ පවතින අපගේ ගෝලීය සහයෝගිතාව නිසා පාර්ලිමේන්තුවේ සියලු මූලික කාර්යන් ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කරනවා. මෙම කාර්යයන්ට නීති සම්පාදනය, අධීක්ෂණය, නියෝජනය සහ අය-වැය විමර්ශනය ඇතුළත් වෙනවා. එසේ කරන අතරම, පොදු ජනතාව මේ සඳහා දායක කර ගැනීමේ හැකියාව සහ නියෝජනය තවදුරටත් වැඩිදියුණු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. විනිවිදභාවයකින් යුත් පාලන ක්‍රියාවලීන් සහ එහි ක්‍රියාකාරීත්වයේ සඵලතාව වැඩිදියුණු කිරීම සඳහා අපි වැඩි අවධානයක් යොමු කරනවා.

මේ අවස්ථාවට මහා සංඝරත්නය ප්‍රමුඛ සර්ව ආගමික නායකයන් සහ මැති ඇමැතිවරු, පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක, නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, කමිටුවේ නියෝජ්‍ය සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්, තරුණයන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති හේෂා විතානගේ යන මහත්වරු ඇතුළු ආරාධිත පිරිසක් සහ තරුණ නියෝජිතයෝ එක්ව සිටියහ.

ඡායාරූප - චින්තක කුමාරසිංහ

සහ ජනාධිපති මාධ්‍ය අංශය

 

ස්වර්ණා විජේකෝන්

නව අදහස දක්වන්න