හිටපු ජනපති ගෝඨාභය ඝාතන තැතට චෝදනා ලැබූ සිවලිංගම් අරූරන් නිදොස් කොට නිදහස් | දිනමිණ

හිටපු ජනපති ගෝඨාභය ඝාතන තැතට චෝදනා ලැබූ සිවලිංගම් අරූරන් නිදොස් කොට නිදහස්

රෝෂන් තුෂාර

කොල්ලුපිටිය පිත්තල හන්දියේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරමින් හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්ව සිටියේදී ඝාතනයට, කුමන්ත්‍රණය කිරීම හා ඊට ආධාර අනුබල දුන්නේ යැයි අධි චෝදනා ලද සිවලිංගම් අරූරන් සැකකරු සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය ඊයේ (16) තීන්දු කළේය.

විත්තිකරු පොලිසියට කරන ලද ස්වේච්ඡා ප්‍රකාශය හැර වෙනත් කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කිරීමට නැති බවට නීතිපතිවරයා කළ කරුණු දැක්වීම් සලකා බැලීමෙන් පසුව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

අධිචෝදනා ලද සිවලිංගම් අරූරන් විත්තිකරු එවකට සහකාර පොලිස් අධිකාරි හිටපු නියෝජ්‍ය පොලිස්පති සිසිල් ද සිල්වා මහතා ඉදිරියේ කරන ලද ප්‍රකාශය ස්වේච්ඡාවෙන් කරන ලද ප්‍රකාශයක් නොවන බවට නිගමනය මහාධිකරණ විනිසුරුවරයා මාර්තු මස තුන් වැනි දින නියෝගයක් නිකුත් කළේය.

එම නියෝගය ප්‍රකාරව නඩුවේ සාක්ෂි තවදුරටත් කැඳවනවාද? නැද්ද යන්න පිළිබඳ නීතිපතිවරයාගේ නිගමනය ප්‍රකාශ කිරීම ඊයේ දිනට නියමිතව තිබිණි.

නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ චුදිතට එරෙහිව වෙනත් සාක්ෂියක් නැති බවය.

චුදිතයන්ට එරෙහිව සාක්ෂි නැති නම් නඩුව ඉදිරියට පවරා පවත්වාගෙන යෑමට නොහැකි බව තීරණය කළ මහාධිකරණ විනිසුරුවරයා කවුරු කෙසේ කොහොම කිව්වත් පුද්ගලයන්ගේ තරාතිරම නොබලා අධිකරණය තීන්දු ගත යුතු බව සඳහන් කරමින් සාක්ෂි නැති හෙයින් විත්තිකරු නිදොස් කොට නිදහස් කරන බව සඳහන් කළේය.

2005 අගෝස්තු 13 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී හිටපු ආරක්ෂක ලේකම්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2006 වසරේදී පිත්තල හන්දියේදී ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම හා ආධාර අනුබල දීම යන අධි චෝදනා 13ක් යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබිණි.

විත්තිකාර සිවලිංගම් අරූරන් 2009 ජුනි 16 හා 24 දිනවලදී ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරිවරයා ඉදිරියේ කරන ලද ප්‍රකාශය ලබා දීමේදී ක්‍රිකට් පොලුවලින් පහරදෙන ලදැයි ලබා දුන් සාක්ෂිය හා එසේ පහර දුන් බවට මහේස්ත්‍රාත් අධිකරණයට ප්‍රකාශයක් කළ බවට විත්තිකරු විසින් ඉදිරිපත් කරන ලද සාක්ෂි සැලකිල්ලට ගනිමින් මහාධිකරණ විනිසුරුවරයා ස්වේච්ඡා ප්‍රකාශය සාක්ෂියක් ලෙස ගැනීම ප්‍රතික්ෂේප කළේය.

හිටපු ආරක්ෂක ලේකම්වරයකු හා හිටපු ජනාධිපතිවරයකු ඝාතනය කිරීමට තැත් කිරීම හා විශාල ආරක්ෂක පිරිසක් ඝාතනය වීමට අදාළ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩු ගොනුවක් මහාධිකරණයට ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම පිළිබඳව ද මහාධිකරණ විනිසුරුවරයා මෙහිදී විශේෂ අවධානය යොමු කර ඇත.

මේ නඩුව නීතිපතිවරයා විසින් 2013 දෙසැම්බර් 4 වැනි දින විත්තිකරුවන් පස් දෙනකුට එරෙහිව ගොනු කර ඇති අතර පළමුවැනි විත්තිකරුගේ ස්වේච්ඡා ප්‍රකාශයද දෙවැනි විත්තිකරුගේ ස්වේච්ඡා ප්‍රකාශය ලබාගත් පොලිස් නිලධාරීන් විසින් ලබාගත් හෙයින් පළමු විත්තිකරුට එරෙහි නඩුව තවදුරටත් විභාග නොකිරීමට තීරණය කළ මහාධිකරණ විනිසුරුවරයා නඩු ගොනුව ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා වෙත ඊයේ යොමු කළේය.

නඩුවේ 3 සහ 4 විත්තිකරුවන් නිදහස් කර ඇති අතර පස්වන විත්තිකරු නැතිව නඩුව විභාග වේ. විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ කේ.වී. තවරාසා සහ නීතිඥ ධර්මරාජා මහත්මිය ඇතුළු පිරිසක් පෙනී සිටියහ.

ශිවලිංගම් අරූරන් වසර පහළොවක් රක්ෂිත බන්ධනාගාරගතව සිට ඊයේ නිදහස් වූ අතර ඔහු ඉංජිනේරුවරයකු ලෙස ග්‍රන්ථ කීපයක් රචනා කළ කතුවරයෙකි.

නව අදහස දක්වන්න