ඖෂධ මිල 15%කින් පහළට | දිනමිණ

ඖෂධ මිල 15%කින් පහළට

  • ඖෂධ සල්වල විදුලි බිල ගැනත් ඇමැති අවධානය

සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල

ඩොලරයේ අඩු වීමට සාපේක්ෂව ඖෂධ මිල ඉදිරි සතියේදී 10%ත් - 15 %ත් අතර ප්‍රමාණයකින් අඩු කිරීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බව සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. ඖෂධ මිල අඩු කළ හැකි ප්‍රමාණය සම්බන්ධව මුදල් අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගණකාධිකාරි අංශය සාකච්ඡා ආරම්භ කර ඇතැයි ද ඒ මහතා කීය.

ජාත්‍යන්තර හෙද දිනය නිමිත්තෙන් ඊයේ (17) පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශ්‍රවණාගාරයේදී පැවැති ජාතික උත්සවයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව පැවසුවේය. ඩොලරයේ මිල ඉහළ යෑමත් සමඟ ඖෂධ මිල සැලකිය යුතු අගයකින් ඉහළ ගිය බවත් ඩොලරයේ අගය පහත වැටීමේ වාසිය ජනතාවට ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැමවිටම උත්සාහ කරන බවත් හෙතෙම අවධාරණය කළේය.

ඖෂධ අලෙවි කිරීම සඳහා ගබඩා කර තැබෙන වෙළෙඳ සැල් අනිවාර්යයෙන්ම වායුසමනය කර තිබිය යුතු බවත් මේ නිසා ඉතා ඉහළ විදුලි බිලක් තමන්ට දැරීමට සිදු වන බවත් ඖෂධ අලෙවිකරුවෝ පෙන්වා දෙන බවත් පැවසූ ඇමැතිවරයා ඖෂධ මිල අඩු කිරීමේදී මෙම කාරණා සම්බන්ධව ද අවධානය යොමු කළ යුතුව තිබෙන බවද අවධාරණය කළේය.

රජයේ රෝහල්වල පෞද්ගලික වාට්ටු ආරම්භ කිරීමේ වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාත්මක කරන බවත් ඒ දෙස ධනාත්මකව බලා අදහස් හා යෝජනා ඉදිරිපත් කරනු වෙනුවට ඇතැම් පිරිස් දේශපාලන හා වෙනත් වුවමනාවන් මත පදනම් විරහිත විවේචන ඉදිරිපත් කරන බවත් රඹුක්වැල්ල මහතා කීය.

අසේල කුරුළුවංශ

නව අදහස දක්වන්න