ධනුෂ්කට එරෙහි අතවර චෝදනා 3ක් ඉවත් කරයි | දිනමිණ

ධනුෂ්කට එරෙහි අතවර චෝදනා 3ක් ඉවත් කරයි

ෆවුස් මොහොමඩ්

නඩු විභාගය ජූලි 13ට කල් යයි

ඔස්ට්‍රේලියාවේ පැවති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වෙමින් සිටියදී ලිංගික අතවර චෝදනාවට අත්අඩංගුවට පත්ව පසුව දැඩි ඇප කොන්දේසි මත නිදහස් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ගොනු කර තිබූ අතවර චෝදනා 4න් තුනක් පොලිසිය විසින් ඉවත් කරගනු ලැබූ බව පැමිණිල්ලේ නීතිඥ හියු බඩීන් ඊයේ සිඩ්නි නුවර ඩවුනින් සෙන්ටර් අධිකරණයට ප්‍රකාශ කළේය.

නිව් සවුත්වේල්ස් නීතිය යටතේ සාපරාධී ක්‍රියාවක් ලෙස සැලකෙන අවසරයකින් තොරව ලිංගිකව එක්වීමේ චෝදනාව සම්බන්ධව නඩු විභාගය ඉදිරියට පවත්වාගෙන යන බවටත් පැමිණිල්ලේ නීතිඥවරයා ක්ලෙයාර් ෆර්නැන් විනිසුරුවරිය හමුවේ ප්‍රකාශ කර තිබේ. ඒ අනුව චෝදනා තුනක් ඉවත් කිරීමට විනිසුරුවරිය නියෝග කළ බව වාර්තා වේ.

ඔස්ට්‍රේලියානු ජාතික 29 හැවිරිදි කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාවට අනුව ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට පත් වූයේ පසුගිය නොවැම්බර් මාසයේ මුල් භාගයේදීය. අත්අඩංගුවට පත් වීමෙන් පසු රාත්‍රීන් 11ක් පොලිස් රැඳවුම් බාරයේ ගත කළ ධනුෂ්ක ගුණතිලකට චෝදනා හතරක් යටතේ නඩු ගොනු කර තිබූ අතර, නොවැම්බර් මස 17 වැනිදා ඇප නියම වූයේ දැඩි කොන්දේසි රැසක් යටතේය. ඒ අනුව ඔහුට නඩු විභාගය අවසන් වන තුරු රටින් පිටවීමත්, ඔහු අදාළ කාන්තාව සමඟ සම්බන්ධතාව ගොඩනඟාගත් ටින්ඩර් ඇතුළු මිතුරු ඇසුරු කිරීමේ කිසිදු වෙබ් අඩවියකට මෙන්ම ඔහුගේ පෞද්ගලික ගිණුම් ඇතුළත් සමාජ මාධ්‍ය අතරට ප්‍රවේශ වීමත් සම්පූර්ණයෙන්ම තහනම් කර තිබිණි.

මීට අමතරව ඔහු අධිකරණයට ඉදිරිපත් කර ඇති නිශ්චිතව රැඳී සිටින ලිපිනය සඳහන් නිවෙසින් දිනපතා රාත්‍රී 9.00 සිට උදෑසන 6.00 දක්වා කාලය ඇතුළත පිටතට යෑම තහනම් කර තිබූ අතර, දෛනිකව සිඩ්නි නුවර පොලිසියට වාර්තා කළ යුතුව තිබිණි.

ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රය ද අධිකරණ බාරයට ගත් අතර, ඔහුට රටින් පිටවිය හැකි කිසිදු ස්ථානයක් අසලට යෑම හෝ අදාළ කාන්තාවගේ නිවෙස පිහිටා ඇති පළාතට යෑම හෝ සපුරා තහනම් කර තිබිණි. එහෙත් පසුව ඔහුට තනි කාමරයක් සහිත නිවෙසක පදිංචි වීමට අධිකරණය අවසර ලබා දී තිබිණි. පසුව සමාජ මාධ්‍ය ජාලාවට පිවිසීම ඇතුළු ඇප කොන්දේසි රැසක් ඉවත් කිරීමට පසුගියදා අධිකරණය නියම කර තිබිණි.

ධනුෂ්ක වෙනුවෙන් සොලිසිටර් ඇලන් සහිනොවික් පෙනී සිටි අතර, නඩු විභාගය ලබන ජූලි මස 13 වැනිදා දක්වා කල් තැබීමට අධිකරණය තීන්දු කර තිබේ.

නව අදහස දක්වන්න