රටවල් 37ක ක්‍රීඩා ඇමැතිවරුන් සහ ප්‍රධානීන් 98ක් සමඟ තහනම් උත්තේජක මර්දන ජගත් මහා සමුළුව කොළඹදී | දිනමිණ

රටවල් 37ක ක්‍රීඩා ඇමැතිවරුන් සහ ප්‍රධානීන් 98ක් සමඟ තහනම් උත්තේජක මර්දන ජගත් මහා සමුළුව කොළඹදී

ප්‍රින්ස් ගුණසේකර

ආසියා - ඕෂනියා රටවල් අතර තහනම් උත්තේජක පිළිබඳ අන්තර්ජාතික සහයෝගිතාව වැඩිදියුණු කිරීමේ උපාය මාර්ග සාකච්ඡා කිරීමේ මහා සමුළුව ලබන මස 12 හා 13 යන දිනවල කොළඹදී රැස්වෙයි. ආසියා - ඕෂනියා කලාපවල රටවල් 37ක ක්‍රීඩා ඇමැතිවරු ඇතුළු නියෝජිතයෝ 98ක් පමණ මෙම මහා සමුළුවට සහභාගි වන අතර, ලෝක තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනයේ (wada) සභාපති පෝලන්තයේ හිටපු සංචාරක හා ක්‍රීඩා ඇමැති විටෝල්ඩ් බන්කා මහතා සමුළුවේ මුලසුන හොබවයි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා මෙම සමුළුවේ ප්‍රධානියා ලෙස සහභාගි වන අතර, ලෝක තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනයේ (wada) ප්‍රධානියා සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ද සැලසුම් කොට ඇත. ජාතික තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා මේ සමුළුවේ විශේෂ සැසිය මෙහෙයවීමට නියමිතය. මේ සමුළුව 2018 වසරේදී ශ්‍රී ලංකාවේ පැවැති අතර, අවසන් වරට සමුළුව පසුගිය වසරේදී ඩුබායිහිදී පැවැත්විණි.

කොළඹදී පැවැත්වෙන සමුළුවේදී ලෝක තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනයේ ඉදිරි වැඩපිළිවෙළ සාමාජික රටවල් වෙත පැහැදිලි කරන අතර, එම වැඩසටහන අනුව තහනම් උත්තේජක මර්දන සහයෝගිතා වැඩපිළිවෙළ දියත් කෙරේ.

තහනම් උත්තේජක ජාවාරමට එරෙහිව නීති ක්‍රියාත්මක කිරීමේදී බලපාන ප්‍රශ්න, ක්‍රීඩක ක්‍රීඩිකාවන් තහනම් උත්තේජක භාවිතයෙන් වැළැක්වීම වෙනුවෙන් තවදුරටත් කළ යුතු පෙලඹවීම් මෙම සමුළුවේදී පුළුල් ලෙස සාකච්ඡා කෙරේ. වසර 2024දී පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙ‍ෙල් හා 2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ නියෝජිතයන් දැනුවත් කිරීම ද මෙම සමුළුවට සමගාමීව ලෝක තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය මඟින් සිදු කිරීමට නියමිතය.

 

නව අදහස දක්වන්න