අනවසරෙන් කුඹුර ගොඩ කළාට අධිකරණයේදී වැඩ වරදී | දිනමිණ

අනවසරෙන් කුඹුර ගොඩ කළාට අධිකරණයේදී වැඩ වරදී

විශාල මහජන පීඩාවක් සිදු කරමින් නීති විරෝධීව කුඹුරු ඉඩමක් පස් දමා ගොඩ කිරීමෙන් අවහිර වී ඇති ඇළ මාර්ගයක් සති දෙකක් ඇතුළත පස් ඉවත් කර ජලය බැස යන අයුරින් පෙර තිබූ තත්ත්වයට පත් කරන ලෙසට අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා පෙරේදා (17) තිහාරිය පදිංචි ජීවා ප්‍රියන්ත කස්තුරිරත්න නැමැති වගඋත්තරකරුවෙකුට නියෝග කළේය. නිට්ටඹුව ගොවිජන සංවර්ධන කාර්යාලීය බල ප්‍රදේශයට අයත් කළගෙඩිහේන මංගලතිරිය මාර්ගයට යාබදව පිහිටා ඇති කුඹුරු ඉඩමක් නීති විරෝධීව පස් දමා ගොඩ කිරීම හේතුවෙන් විශාල මහජන පීඩාවක් සිදු වී ඇති බවට චෝදනා කරමින් නිට්ටඹුව පොලිසිය විසින් අපරාධ නඩු විධි විධාන සංග්‍රහ පනතේ අංක 98/01 වගන්තිය ප්‍රකාරව තිහාරිය පදිංචි ජීවා ප්‍රියන්ත කස්තුරිරත්න නමැත්තෙකුට එරෙහිව මහජන පීඩාව යටතේ නඩුවක් පවරා තිබුණි. එම නඩුව පෙර දිනයේ කැඳවූ අවස්ථාවේ පීඩාවට පත් ගම්වාසීන් කිහිප දෙනෙකුගේ සාක්ෂි සටහන් කර ගැනීමෙන් අනතුරුව ගම්පහ දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරුවරයාගේ හා නිට්ටඹුව ප්‍රාදේශීය ගොවිජන සංවර්ධන නිලධාරිනියගේ සාක්ෂි සටහන් කර ගැනීම 2023.05.17 වනදාට කල් දමා තිබුණි.

මෙය පෙරේදා (17) නැවත කැඳවූ අවස්ථාවේ නිට්ටඹුව පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.ඩබ්ලිව්.ඇල්. රවීන්ද්‍ර මහතාගේ මෙහෙයවීම යටතේ නිට්ටඹුව ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානයේ ස්ථානාධිපතිනී ප්‍රාදේශීය ගොවිජන සංවර්ධන නිලධාරිනී කමනි ඉන්දුමතී මහත්මිය හා ගම්පහ දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු ජී.සාරංග පැතුම් මහතා සාක්ෂි ලබාදීමෙන් අනතුරුව පෙර ලබා දී ඇති සාක්ෂි හා රාජ්‍ය ආයතන ඒකාබද්ධ වාර්තා සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා වගඋත්තරකරු නීති විරෝධීව කුඹුරු ඉඩම පස් දමා ගොඩ කිරීම හේතුවෙන් විශාල මහජන පීඩාවක් සිදු වී ඇති බවට තීරණය කළේය. එම තීරණයට අනුව අපරාධ නඩු විධි විධාන සංග්‍රහ පනතේ අංක 99/01 වගන්තිය ප්‍රකාරව සති දෙකක් ඇතුළත පස් දමා ගොඩ කර ඇති ඇළ මාර්ගයේ සියලු පස් හා බාධා ඉවත් කරන ලෙසට වග උත්තරකාර ජීවා ප්‍රියන්ත කස්තුරිරත්න නැමැත්තාට නොතීසි භාර දීමට අධිකරණයේ පිස්කල්වරයාට නියෝග කළේය. එසේ නොතීසි භාර දීමට නොහැකි වුවහොත් අංක 99/02 වගන්තිය ප්‍රකාරව වගඋත්තරකරුට පෙනෙන ස්ථානයක එම නොතීසිය ඇලවීමට ද නියෝග කැරිණි.

එසේ නොතීසි භාර දීමෙන් හෝ ඇලවීමෙන් පසුව සති දෙකක් ඇතුළත වගඋත්තරකරු ඇළ මාර්ගයේ පස් ඉවත් කර ජලය බැසයාම සඳහා සියලු බාධාවන් ඉවත් නොකළහොත් අංක 200/02 වගන්තිය ප්‍රකාරව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ වගඋත්තරකරුට එරෙහිව වෙනම නඩුවක් ගොනු කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා නිට්ටඹුව පොලිසියට නියෝග කළේය.

වේයන්ගොඩ විශේෂ

නව අදහස දක්වන්න