මද්‍රසා සිසුන්ට යුද විස පෙවූ දේශක දෙපළ රිමාන්ඩ් | දිනමිණ

මද්‍රසා සිසුන්ට යුද විස පෙවූ දේශක දෙපළ රිමාන්ඩ්

සුභාෂිණී සේනානායක

CIDයේ සාක්ෂි ගොනු කිරීමේ දුබලකම උසාවියේ අප්‍රසාදයට

2019 වසරේ පාස්කු ප්‍රහාරයට පෙර පුත්තලම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පුත්තලම අල් සුහරියා මද්‍රසා පාසලේ සිසුන්ට යුද මානසිකත්වය දෙමින් දේශන පැවැත්වූ දේශකයන් දෙදෙනකු ඇතුළු සිව් දෙනකු ලබන 31 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (18) නියෝග කළේය. එම පාසලේ දේශන පැවැත්වූ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් සිව් දෙනා සම්බන්ධයෙන් සාක්ෂි සම්පිණ්ඩනය ඉදිරි දින ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය සිදු කළ අතර, මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ අනාස් අන්වර්, මොහොමඩ් ජුසෙයිල් අබ්දුල් හමීඩ් ජාබර් නමැති දේශකයන් දෙදෙනා සහ එම ස්ථානයේ එම අවස්ථාවේ රැඳී සිටි මොහොමඩ් අසිපත් අබුබකර් සිද්ධික් සහ රාවුත්තර් නෙයිනා අසනාත් මරක්කාර් යන අය වෙති.

රටේ ජනතාවට අධිකරණය සම්බන්ධයෙන් සැකයක් ඇති නොවන ලෙස විමර්ශන සිදු කළ යුතු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා හිස් කොළ ඉදිරිපත් කර නියෝග ඉල්ලා නොසිටින ලෙසත් දැනුම් දුන්නේය. ඉදිරි දින සාක්ෂි සම්පිණ්ඩනය සලකා බලා සැකකරුවන් සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් සිදු කරන බවද මහේස්ත්‍රාත්වරයා දන්වා සිටියේය. මේ සැකකරුවන් අමෙරිකාවේ ලෝක වෙළෙද මධ්‍යස්ථානයට ත්‍රස්ත ප්‍රහාර එල්ල කිරීම, පහර දීම, පලස්තීන යුද්ධය සම්බන්ධයෙන් ඇතුළු ලෝක යුද ඉතිහාස වාර්තා ඉදිරිපත් කරමින් එම මද්‍රසා පාසලේ ඉගෙනුම ලැබූ සිසුන්ට යුද මානසිකත්වයක් ඇති කර තිබෙන බවට එම පාසලේ ඉගෙනුම ලැබූ සිසුන්ගේ ප්‍රකාශ තහවුරු කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය. එම කරුණු අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් අධිකරණයෙන් සමාව අයදින බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.

නීතිපතිවරයාගේ උපදෙස් ප්‍රකාරව සැකකරුවන් අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටි බව සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා ඇතුළු නීතිඥ මඩුල්ල අධිකරණයට දැනුම් දුන්නේය. තොරතුරු මත සැකකරුවන් අත්අඩංගුවට ගත යුතු බවත් පොලිස් නිලධාරීන් වසර තුනක් විමර්ශන කර අත්අඩංගුවට ගත්තේ නම් මීට පෙර අත්අඩංගුවට ගත යුතු බවත් පැවසීය. සමහරක් නඩු මහාධිකරණයේ විභාග වෙන බවත් මෙම නඩු වාර්තාවේ සැකකරුවන් කළ වැරදි සම්බන්ධයෙන් සාක්ෂි සම්පිණ්ඩනයක් නොමැති බවත් කීය. කිසිම තොරතුරක් නැතිව මේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකකරුවකු ඉදිරිපත් කරනවා නම් සාක්ෂි සම්පිණ්ඩනය අවශ්‍ය බවත් සඳහන් කළේය. මෙම සැකකරුවන්ට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් මුදා හරින්න යැයි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙම සැකකරුවන් සම්බන්ධයෙන් අවසන් වාර්තා ඉදිරිපත් කර නැති බවත්, නීතිපති උපදෙස් ලැබුණු බව කීවත් වාර්තා නැති බවත් කී මහෙස්ත්‍රාත්වරයා විමර්ශන නිලධාරීන්ගේ ඉල්ලීම මත සති දෙකක කාලයක් ඒ සඳහා දෙන බවත් ,එම වාර්තා බලා සුදුසු නියෝගයක් සිදු කරන බවත් සඳහන් කළේය.

නව අදහස දක්වන්න