සභාපතිවරුන්ගේ විරෝධතාවෙන් ක්‍රිකට් තරගාවලියට දැඩි පොලිස් රැකවරණ | දිනමිණ

සභාපතිවරුන්ගේ විරෝධතාවෙන් ක්‍රිකට් තරගාවලියට දැඩි පොලිස් රැකවරණ

බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් දිස්නා ජයසිංහ මහත්මිය වෙත බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරුන් වන මනෝජ් සංජය හෙට්ටිගේ සහ දේවේන්ද පෙරේරා මහත්වරුන් විරෝධය පළ කරමින්.

 

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කණ්ඩායම් 14ක සහභාගිත්වයෙන් පැවැති කළුතර දිස්ත්‍රික් දිසාපති අභියෝගතා කුසලාන සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය බණ්ඩාරගම ක්‍රිඩාංගණයේ දී දැඩි පොලිස් රැකවල් මැද පැවැත්විණි. බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරුන් වන මනෝජ් සංජය හෙට්ටිගේ සහ දේවේන්ද පෙරේරා මහත්වරු ගත් ප්‍රතිපත්තිමය තීරණයක් අනුව මෙම ක්‍රීඩාංගණයේ සැහැල්ලු පන්දු ක්‍රිකට් තරග පැවැත්වීම මෙතෙක් කාලයක් සිදු කර නැති අතර, සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන බවට දැන ගැනීමත් සමඟම ක්‍රීඩාංගණයට ඇතුළුවන ප්‍රධාන දොරටුව අසල විරෝධතාවක් පැවැත්විණි.

තරගාවලිය ආරම්භ වීමට විනාඩි කිහිපයක් තිබියදී හිටපු සභාපතිවරුන් දෙදෙනා ඇතුළු පිරිස ප්‍රධාන දොරටුව ඉදිරිපිට විරෝධතාව පළ කිරීමත් සමඟ පොලිසිය කැඳවීමට පියවර ගෙන තිබිණි.

හිටපු සභාපති දේවේන්ද පෙරේරා මහතා පැවැසුවේ ක්‍රීඩාංගණය ආරම්භ කළ දා සිට හිටපු සභාපතිවරුන් ලෙස මනෝජ් සංජය හෙට්ටිගේ මහතා හා තමන් ක්‍රීඩාංගණය ආරක්ෂා කළ බවයි. ගමේ දරුවන්ටවත් සැහැල්ලු පන්දු හෝ වෙනත් ක්‍රීඩා සඳහා අවසර ලබා නොදුන් බව ඒ මහතා පැවැසීය.

නමුත් අද මේ කිසිවක් නොදැන අත්තනෝමතික ලෙස නිලධාරීන් තමන්ගේ හිතු මනාපේ කරන මහා විනාශයට දැඩි විරෝධය පළ කරන බව හෙතෙම පැවැසීය.

මෙම තරගාවලිය සංවිධානය කළ කළුතර දිසාපති ගිනිගේ ප්‍රසන්න කුමාර මහතාගෙන් විමසීමේදී පැවැසුවේ ක්‍රීඩාංගණය කිසිවෙකුගේ හෝ පෞද්ගලික බූදලයක් නොවන බවයි.

“මේක කළුතර දිස්ත්‍රික්කයේ ස්ථාපිත කළ හොඳම ක්‍රීඩාංගණය. කාගේවත් විරුද්ධතාව අපට ප්‍රශ්නයක් නැහැ. මේ රජයේ ක්‍රීඩාංගණයක්. සියලු දෙනාටම පොදුයි. ක්‍රීඩාංගණය එක ක්‍රීඩාවකට වෙන් කළ එකක් නොවේ. ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තියෙනවා තමන් කැමැති අදහසක් දරන්න, ඒ ගැන කිසිම ගැටලුවක් නැහැ“ කළුතර දිසාපතිවරයා පැවැසීය.

හිටපු සභාපති මනෝජ් සංජය හෙට්ටිගේ මහතා පැවැසුවේ නිලධාරියෙක් විදිහට ඇහුම්කන් දීම ඉතා වැදගත් වන බවය. “කළුතර දිස්ත්‍රික්කයේ දැනට තියෙන අඩුම මුදලට ගන්න පුළුවන් හොඳම ක්‍රීඩාංගණය මේකයි. අපි මේකට සම්පූර්ණයෙන් විරුද්ධයි. ක්‍රීඩාංගණය විනාශ කිරිමේ වරද මේ දිසාපති ගන්න ඕනෑ“හෙට්ටිගේ මහතා සඳහන් කළේය.

බණ්ඩාරගම බිමල් ජයසිංහ

නව අදහස දක්වන්න