අරක්කු අල්ලන්න ගිය පුපුරැස්ස පොලිස් නිලධාරීන්ට බල්ලන් උසිගන්වලා | දිනමිණ

අරක්කු අල්ලන්න ගිය පුපුරැස්ස පොලිස් නිලධාරීන්ට බල්ලන් උසිගන්වලා

පොලිසියෙන් වෙඩි

සැකකරුගේ පුතාටත් වෙඩි වැදිලා

රොට්වයලර් සුනඛයාත් වෙඩි වැදී මරුට

තුවාල ලැබූ  පොලිස් නිලධාරීන් ගම්පොළ රෝහලට

නීති විරෝධී මත්පැන් අලෙවි කරන බවට ලද තොරතුරක් මත පුපුරැස්ස පොලිස් වසමේ පන්විලතැන්න පඹදෙණිය ප්‍රදේශයේ නිවසක් වැටලීමට ඊයේ (21) පෙරවරු 6.30ට පමණ ගිය ගම්පොළ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක්ව නිවැසියන් විසින් උස්ගන්වන ලද බල්ලන් දෙදෙනකු සපා කෑම නිසා දෙදෙනකු තුවාල ලැබ ගම්පොළ රෝහලට ඇතුළත් කර තිබේ.

සපා කෑමට බල්ලන් පැමිණෙන අවස්ථාවේ පොලිස් නිලධාරීන් ඒ දෙසට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙන අතර, එක් වෙඩිල්ලක් නීති විරෝධී මත්පැන් ජාවාරමේ නිරත බව කියන ප්‍රධාන සැකකරුගේ 19 හැවිරිදි පුතාගේ පාදයකට වැදී ඇත.

මෙම වෙඩි තැබීමෙන් නිවසේ සිටි රොට්වයලර් වර්ගයේ සුනඛයකු මිය ගොස් ඇති අතර, නිවසේ වහලය ඇතුළු ස්ථාන කිහිපයක වෙඩි පහරවල් දක්නට තිබේ.

වෙඩි වැදීමෙන් වම් පාදයේ ඇතිවූ තුවාල සමඟ සැකකරුගේ පුත්‍රයා ගම්පොළ රෝහලේ වාට්ටු අංත 01ට ඇතුළත් කර තිබේ.

මේ වන විට පොලිස් වෙඩි ප්‍රහාරයට ලක්වූ තරුණයා ද බල්ලන් සපා කෑම නිසා තුවාල ලද පොලිස් නිලධාරීන් දෙදෙනාද ගම්පොළ රෝහලේ එකම වාට්ටුවක ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.

ගම්පොළ කොට්ඨාස භාර වැඩ බලන පොලිස් අධිකාරි රොෂාන් අමරසිංහ මහතා යටතේ ක්‍රියාත්මක කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයෙ 21 අලුයම පහයි හතළිස් පහට මෙම නිවස පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේ මෙම වෙඩි තැබීම සිදු කර තිබේ.

සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ උප පොලිස් පරීක්ෂක කසුන් හා පොලිස් සැරයන් ඒකනායක යන නිලධාරීන් දෙදෙනාය.

සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොළ හා පුපුරැස්ස පොලිසි මඟින් පරීක්ෂණ පවත්වයි.

මෙම නිවසේ නීති විරෝධී මත්පැන් ඇති බවට ලද තොරතුරකට මෙම වැටලීම සිදු කර ඇති අතර, එහි දී සුනඛයා සපා කෑම නිසා මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව පොලිසිය පවසයි.

අසේල කුරුළුවංශ, ගම්පොළ සමූහ - සුරංග දිල්හාන්

නව අදහස දක්වන්න