ගංජා රොටියක් කවා අරක්කු පොවා කෝවිලේ පූජකයා තරුණියක කෙලෙසයි | දිනමිණ

ගංජා රොටියක් කවා අරක්කු පොවා කෝවිලේ පූජකයා තරුණියක කෙලෙසයි

ගංජා මිශ්‍ර රොටියක් කන්නට දී මත්පැන් පොවා 20 හැවිරිදි තරුණියක මත් කර දූෂණය කළ කෝවිල පූජකයකු ඔඩ්ඩුසුඩාන් පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (20) අත්අඩංගුවට ගෙන ඇත.

ත්‍රිකුණාමලය සුරනගර්හි පිහිටි පදිංචිකරුවකු වන 33 හැවිරිදි මේ පූජකයා විසින් දූෂණය කර ඇත්තේ යාපනය පූතූර්හි පදිංචි තරුණියකවය. පොලිසිය පවසන පරිදි මේ තරුණිය ඇයගේ ඥාතීන් සමඟ පසුගිය දිනක කෝවිලේ පූජාවකට ගොස් ඇති අතර, පූජකවරයා එහිදී තරුණියගේ ඥාතීන්ට පවසා ඇත්තේ ඇයගේ සිරුර තුළ දොස් සහ රෝග ඇති බවයි. ඒවාට ප්‍රතිකාර ක්‍රමයක් තමා සතුව ඇති බව කියමින් ඇයට නොමිලයේම එම ප්‍රතිකාරය කිරීමට කැමැත්ත පළ කර තිබේ. ඒ අනුව ඉකුත් 16 දා ඇයට ප්‍රතිකාර කරන්නට මේ පූජකයා කෝවිල සමීපයේ පිහිටි තරුණියගේ ඥාති නිවෙසට පැමිණ ඇත. එහි කාමරයක්ද වෙන් කරගෙන පූජකවරයා සිය ප්‍රතිකාර ක්‍රමය පටන්ගෙන ඇත්තේ ගංජා මිශ්‍ර රොටිය ඇයට කන්නට දී මත්පැන් පොවාය. පූජකවරයා තරුණිය දූෂණය කිරීමට පෙර ඇයගේ ඥාතීන්ට පවසා ඇත්තේ කුමන ශබ්දයක් කාමරයෙන් ඇසුණත් කාමරයට නොපැමිණෙන ලෙසය. ඒ අනුව ඇය කෑගසා ඇතත් කිසිවකුත් ඒ ගැන උනන්දුවක් දක්වා නැති අතර, ඒ අය සිතා ඇත්තේ සිරුරේ ඇති දොස් දුරු කරන විට ඇය එසේ කෑගසන බවයි. අපරාධයට ආධාර හා අනුබල දීමේ වරදට දූෂණයට ලක් වූ තරුණියගේ ඥාතීන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන පවත්වන බව පොලිසිය කියයි.

ගයාන් කුමාර වීරසිංහ

නව අදහස දක්වන්න