සිය නිෙවසේ ඇති කරන රොට්වෙයිල බල්ලෝ දෙදෙනා උසි ගන්වන ලද කතාවක් පුපුරැස්ස පොලිස් වසමෙන් වාර්තා විය. දැන් සුනඛයා කවුදැයි ඇසුවොත් එකවරම පිළිතුරක් ලබා දීම අපහසුය. රාජකාරිය සඳහා යන නිලධාරින් වෙත මෙවැනි ආකාරයෙන් හිංසා කිරීම් ගණනාවක් පසුගිය කාලය පුරාවට වාර්තා විය. විදුලි මනු කියැවීම සඳහා සහ වතුර මීටර් කියවීමට යන නිලධාරීහු ගණනාවක් මේ ආකාරයෙන් වරින් වර ගුටි කෑහ. ඩෙංගු පරීක්ෂාවට යන මහජන සෞඛ්‍ය පරීක්ෂකගේ ඇඟට ගොරවාගෙන පනින ‘තවත් එකෙක්’ගේ වීඩියෝවක් සමාජ මාධ්‍යයේ වයිරල් වෙයි. බිත්තර හංගාගෙන, මිල වැඩි කර ගැනීම සඳහා ඔට්ටු අල්ලන මුදලාලි කෙනෙකුගේ ෆාම් එකක් වැටලූ විට, පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් කිහිප දෙනකුට ‘සොරි වෙන්නම’ නෙළුෑ, ගැන්සියක් පිළිබඳව ද වාර්තා විය. මෙහෙම බලන විට දැන් මදුරු කීට පරීක්ෂාව සඳහා යා යුතු වන්නේ, මල්ටි බැරල් අවිද රැගෙනය.
නිලධාරීන්ගේ රාජකාරිය සඳහා මෙසේ බාධා කරන පිරිස්, දැන් පැතිරෙන උණ මෙන්ය. මේ රෝගය ද වේගයෙන් බෝ වෙමින් පවතී. ගෙදරට ආපු හතුරාට වුණත් ආදරයෙන් සලකන සමාජයක්, සිය රාජකාරිය සඳහා නිෙවසට පැමිණෙන නිලධාරීන් හතුරන් සේ දකිමින්, තුරන් කිරීමට වෙහෙසෙන්නේ ඇයි...? මේවා ද ගෙවල් මට්ටමෙන් ඇති ‘පාතාල ලෝකයන්ය’. එවැනි අය සඳහා හොඳින් සම්බුව නොදුන්න හොත්, මේ රටේ පහළ මට්ටමේ පරිපාලනය මුළුමනින්ම බිඳවැටෙණු ඇත.
canis lupus familiaris යනු ගෙදර ඇති කරන බල්ලා සඳහා යොදන විද්‍යාත්මක නාමය ය. නැට්ට අගින් කැපුව ද, වහු පැටවු සේ ලොකුවට මහතට සිටිය ද, හීන්දෑරියට උසට සිටිය ද, පුළුන් බෝල සේ පෙරළි පෙරළී ගියද, ඒ සියලු දෙනා අයත් වන්නේ මේ වර්ගයටය. විද්‍යාත්මක නාමකරණයේ පියා ලෙස සැලකෙන කැරෝල්ස් ලිනෙයස් උපන්නේ 1707 වසරේ අදවන් දිනකය. ලිනේයස්ගේ නාමකරණය හේතුවෙන් නෝනලා ‘පෙඩිග්‍රී දී හදන්නේ’ ද අපි, ඉඳුල් බත් එක්ක හාල් මැස්සන් ඔළු ටික දමා අනා දෙන්නේ ද එකම ජාතියේ එකාටය. ඒ වුණාට සතා වෙනස්ය. ගෙදර එකාට එහෙම සැපක් නැත. ඌට තුවාලයක් වූ කල, ඉස්සර නම් අප දැම්මේ මිරිස් කුඩුය. දැන් කොන්ඩිස් ටිකක් දමා ලණුව කොට කර බැඳ තබමු. නැත්නම්, ඌගේ බෙහෙත වූ (ලෙව කෑමේ ප්‍රතිකාරය) කර ගැනීමට ගොස් තුවාලය වනයක් වන්නේය. හොඳ ජාතියේ එකාව අරගෙන යන්නේ, පෙට් හොස්පිට්ල් වෙතය. ගෙදර ළමයකුට උණ හෙම්බිරිසාවක් හැදුණොත් බෙහෙත් ගන්න යන වියදම හේතුවෙන් ඒ මාසයේ මැද සිටම අපට ‘කොළේ හිඟ’ වන්නේය. ඒ වුණාට අපේ මාසේ පඩිය වගේ ගාණක් අර ‘පොරකට’ එක් මාසයකට ඒ ගෙදර දරන්නේය. ඒවා සැප ලැබීමේ ආනිශංස විය හැකිය. සිල් නැතිව දන් දුන් හේතුවෙන්, සුනඛ යෝනියක ඉපදී දානයේ විපාකය අත්විඳිනවා ඇත්තේ එසේය. පාරේ සිටින සුනඛයෝ බොහොමයක් අබලන්ය. කටුවා කෑම නම් රෝගය නිසා බොහෝ දෙනකුගේ ‘කැන්වස් ද පෑදිලාය’. එහෙව් පිරිසට කෑම බීම ලබා දෙමින්, සාත්තු සප්පායම් කරන, හිත උණු වෙන මිනිස්සු ද සිටිති.
අපි දකින බලු ලෝකය සේම, අප ජීවත් වන මිනිස් ලෝකය ද විවිධාකාරය. ‘ලෝකය ගෝලාකාරයි - මිනිස්සු විවිධාකාරයි’ කියා ත්‍රිරෝද සාහිත්‍යයේ ලියැවී ඇත්තේ ඒ නිසාය. එහෙව් වූ පළියට අපිට ඕනෑ ආකාරයට ලෝකයේ ජීවත් විය නොහැක්කේය. සංස්කෘතිය, නීති රීති, චර්යාධර්ම ඇත්තේ, එසේ විවිධාකාර වූ මිනිස්සු, එක් ආකාරයකට සමාජයක් ලෙස තබා ගැනීමටය. එහෙමට තබා ගැනීමට නොහැකි ඈයෝ සඳහා දඬුවම යන්න නීතියේම තිබේ. නිලධාරීහු අතරින් සමහරෙක් දූෂිතය. එහෙව් පළියට ගෙදරට එන නිලධාරියට ගහන්න ගියහොත්, බල්ලෝ උසි ගැන්වීම සඳහා කටයුතු කළහොත්, ආයෙත් අපිට යන්නට වෙන්නේ ගෝත්‍රික සමාජයකටය. නීතිය යනු ඇඟේ හයිය නොවෙන බවට මිනිසා තහවුරු කර ගත්තේ බොහෝ සටන් කරය. ශිෂ්ටාචාරයේ දුර ගමනක් පැමිණි පසුවය.
ශිෂ්ටාචාරයේ එක් තැනකදී අපිට බල්ලා හමු විය. දඩයම් යුගයේ සිටි අපේ මුත්තෝ බල්ලා හීලෑ කර ගන්නට ඇතැයි සැලකේ. මීට වසර 50000 පමණ ඈත අතීතයේදී පවා බල්ලා මිනිස් ඇසුරේ දිවි ගෙවූ බවට පුරාවිද්‍යාත්මක සාධක ලැබී තිබේ. ලෝකයේ සෑම මිනිස් වාසයකම බල්ලා ද වාසය කරන්නේය. මේ නිසා ඌට අපේ ගති ගුණ ද යම් තරමක් ලැබී තිබේ. සිය පූර්වජ වෘකයා ලෙස බල්ලා මස් පමණක් කෑමට ගන්නේ නැත. අපි සමඟ එකට ඉඳ උන් බත් ද කන්නේය. මේ ආදී ගතිගුණ අපෙන් ඌට ලැබෙන විට, උගේ ගතිගුණ සමහරකට ද අපි ගැති වී ඇත්තෙමු.
බල්ලාගේ සියලු සෙල්ලම් උගේ වැයික්කියේය. අහල පහල බල්ලෙක් හෝ පූසෙක් උගේ වත්ත අසලින් යන විට කකුල් දෙකෙන් පොළොව හාරා ඌ වීර්යය ගන්නේය. මහ හයියෙන් බුර බුරා, සිය ස්වාමියා දෙස ද ‘කොහොමද මගේ වැඩ’ කියනා ආකාරයෙන් බලන්නේය. එහා ගෙදර සතා ඊට බිය වූ සැණින්, ඌ පසුපස පන්නන්නට ද පටන් ගන්නේය. ඒ සියලු සෙල්ලම් එක් තැනකින් ඉවරය. ඒ මායිම පසු කළ සැණින්, ඌ පසු බසින්නේය. ‘කකුල් තුනේ වැඩේ’ ළඟ ඇති ගලකට තාප්පයකට කර, යළි කිසිවක් නොවූ ලෙස හැරී එන්නේය.
ඒ ගති සොබා බෝ කරගත් සමහරු ගෙදරට එන නිලධාරියාගේ ඇඟට පැන වීරයා වන්නේය. වැඩේ දුර දිග ගොස් නීතිය හමුවට පැමිණි කල ‘බල්ලා කකුල් තුනෙන් කළ දේ’ හිටගෙනම වන්නේය. ඒ නිසා ඔය ‘වීරයන්’ වහාම වැයික්කියෙන් පිටතට ගෙන, ප්‍රශ්නය විසඳිය යුතුය.
නව අදහස දක්වන්න