ජනක විජයපතිරත්න සභාපති, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය
- පක්ෂ න්‍යාය පත්‍රය පැත්තකින් තියන්න
- වෘත්තීය සමිති ජාතික වගකීම අමතක නොකළ යුතුයි
- ශ්‍රී ලන්කන්වලට ආයෝජකයෙක් අපි දෙන්නම්
ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයට අනුබද්ධ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ලේකම් හා සභාපති හැටියට වසර 15කට ආසන්න කාලයක් කටයුතු කළ ජනක විජයපතිරත්න මහතා 2018 වසරේදී එහි මවු සංගමය වන ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපතිවරයා හැටියට පත් විය. පක්ෂයේ සභාපතිවරයාට නිල බලයෙන් හිමිවූ එම තනතුරට පත්වූ දේශපාලනඥයකු නොවන පළමු තැනැත්තා ඔහුය. වර්තමාන ලෝක රටාව තුළ වෘත්තීය සමිති වගකීම ගැන සිය අත්දැකීම් ඇසුරෙන් ඔහු දැක්වූ අදහස් මෙසේය.
වෘත්තීය සමිති ව්‍යපාරය වැඩ කරන පන්තියට දිනා දුන් අයිතිවාසිකම් විශාල ප්‍රමාණයක් තිබුණා වුවත් වර්තමානය වන විට ඒ ගැන ජනතා ප්‍රසාදය අඩුව තිබෙනවා. මෙය හේතුව කුමක්ද?
පොදුවේ ගත්විට වෘත්තීය සමිති ගැන ජනතා ආකල්පය ධනාත්මක නැහැ කියන කරුණ මමත් පිළිගන්නවා. එවැනි ආකල්පයක් ඇති වෙන්න සියයට 75ක් වෘත්තීය සමිති නායකයන් හා හිතුමතයට වැඩ කරන පාලකයන් වගකියන්න ඕනෑ. දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන වෘත්තීය සමිති භාවිතය ඉතාම කනගාටුදායකයි. පහසුවෙන් සාකච්ඡාකර විසඳා ගතහැකි ප්‍රශ්න මේ භාවිතය නිසා රටේ ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන අවස්ථා අප දැක තිබෙනවා.
වෘත්තීය අරගල රටේ ආර්ථිකයට බලපාන ආකාරය ගැන වෘත්තීය සමිති සැලකිල්ලක් දක්වන්නේ නැහැ.
ලියුමකින් දැනුම් දිය යුතු ප්‍රශ්නය අපේ අය පාලකයන්ට දැනුම් දෙන්නේ දිනක සංකේත වැඩ වර්ජනයකින්. මේ තත්ත්වයට පාලකයන්ද වගකිව යුතුයි. නමුත් ඒ විදිහෙ පාලකයන් පවා ඇහුම්කන් දෙන තත්ත්වයට පත්කර ගන්න වෘත්තීය සමිති දක්ෂ විය යුතුයි.දිනක් වැඩ වැරීම වෘත්තීය සමිතියකට සුළු දෙයක් වෙන්න පුළුවන්. නමුත් එයින් ජාතික ආර්ථිකයට විශාල බලපෑමක් වෙනවා. මෑතකදි දුම්රිය ස්ථානාධිපතිවරු සංකේත වැඩ වර්ජනයක යෙදුණු ආකාරය අපි දැක්කා. ඒ වර්ජනය නිසා දුම්රිය මගීන් දහස් ගණනක් අසරණ වෙන්න ඇති. මේ ආකාරයේ වෘත්තීය ක්‍රියාමාර්ග නිසා වෘත්තීය ක්‍රියාමාර්ග ගැන ජනතා ආකල්පය නරක තැනකට ගිහින් තිබෙනවා.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙ වෘත්තීය ක්‍රියාමාර්ගයත් ඒ ආකාරයේම එකක්. වෘත්තී සමිති ව්‍යාපාරයට පොදුවේ ජනතාව මුහුණදෙන පීඩාව ගැන අවබෝධයක් නැතිවීම නිසා අප්‍රසාදයට පත් වෙන පසුබිමක් නිර්මාණයව තිබෙනවා.
වත්මන් වෘත්තීය සමිති ව්‍යාපාරය වගකීම් විරහිත පිරිසක් අතට පත්ව තිබෙන බවට පොදුවේ රටේ මතයක් තියෙනවා. මේ පසුබිම තුළ වෘත්තීය සමිති කාර්යභාරය ගැන සාකච්ඡාවක් අවශ්‍යයි නේද?
සමස්ත රටවැසියන් බහුතරය ජාතික න්‍යාය පත්‍රය පැත්තක තියලා පක්ෂ න්‍යාය පත්‍රය අනුව වැඩ කරන ආකාරය අප දැක තිබෙනවා. ඒ වගේම වැඩ කරන ජනතාවගේ අභිලාෂයන් වෙනුවට පක්ෂ අරමුණු අනුව ක්‍රියාත්මක වන බව පෙනෙන්න තිබෙනවා. රටක ප්‍රතිපත්ති සම්පාදනයේදී සියලු පාර්ශ්වයන්ට පිළිගත හැකි පොදු ජාතික ප්‍රතිපත්ති බිහිවිය යුතුයි.
වෘත්තීය අරගලවලින් තොර ස්ථාවර රටක් තිබුණොත් ජයග්‍රහණ රැසක් රටට හිමිවෙනවා. සාම්ප්‍රදායික දේශපාලනයෙන් ඉටු නොවන මේ ජාතික අවශ්‍යතාව ඉටු කිරීමට නූතත වෘත්තීය සමිතිය ව්‍යාපාරය යොමු විය යුතුයි. ඒ සඳහා එක් එක් වෘත්තීය සමිති දැනට නිරතව සිටින තම තමන්ට ආවේණික අරගල වෙනුවට පොදු ජාතික වැඩ පිළිවෙළකට දායක විය යුතුයි.
වෘත්තීය සමිති ව්‍යාපාරය මේ ජාතික වගකීම තේරුම් ගෙන එයට මැදිහත් වීම වැදගත්.
ප්‍රබල වෘත්තීය සමිති ක්‍රියාත්මක වන බොහෝ ආයතනවල සාමූහික ගිවිසුම් දකින්න ලැබෙනවා. කේවල් කිරීමේ පියවරක් ලෙස සාමූහික ගිවිසුම් වැදගත් වෙන්නේ කොහොමද?
සාමූහික ගිවිසුම් ක්‍රමය වෘත්තීය සාමය පවත්වා ගෙන යන්න තිබෙන හොඳම මෙවලමයි. එයින් නිශ්චිත කාලයකට වෘත්තීය සංගම් හා සේවකයන් කිසිදු වෘත්තීය ක්‍රියාමාර්ගයකින් තොරව සේවය සපයන්න එකඟ වෙනවා. ඒ වෙනුවෙන් පාලකයන්ට නිශ්චිත වැටුපක් හා ප්‍රතිලාභ ගෙවන්න බැඳීමක් ඇති වෙනවා. එයට අමතරව සේවක ඵලදායීතාව වැඩි කර ගෙන එම ප්‍රතිලාභ සැපයීමට සේවකයන් එකඟ කරගැනීමට පාලකයාට අවස්ථාව ලැබෙනවා. ඒ තුළින් ආයතනය වර්ධනය කරගන්න පුළුවන්.
මෙරට බොහෝ ආයතනවල සාමූහික ගිවිසුම් ක්‍රමය ඵලදායී ආකාරයට යොදා ගන්නා අකාරයට දකින්න ලැබෙනවා. ඒ අතර සමහර ආයතනවල මේ ක්‍රමවේදය යොදා ගෙන ඔරොත්තු නොදෙන වරප්‍රසාද දීම නිසා ආයතන බිඳවැටුණු අවස්ථාත් දකින්න ලැබෙනවා. ඒ වගේම සේවකයන්ට ඉතාම අවාසිසහගත ආකාරයට බලපෑ අවස්ථා ද තිබෙනවා. නිතර නිතර කාර්මික ආරවුල් ඇතිවෙන රාජ්‍ය දෙපාර්තමේන්තු, සංස්ථා ආදි ආයතනවල සාමූහික ගිවිසුම් ක්‍රියාවලිය ඵලදායක ලෙස ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් ආර්ථිකයට වාසිදායකයි.
බිඳවැටුණ ආර්ථිකය නැවත යථා තත්ත්වය ගෙන ඒමේදි ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ ඇති කළ යුතු වෙනවා. ඒ සඳහා කම්කරු නීති වෙනස් කිරීමේ යෝජනාව ගැන ඔබේ අදහස කුමක්ද?
මෙවැනි යෝජනාවක් ඉදිරිපත්ව තිබුණත් තවමත් ලිඛිත කෙටුම්පතක් ඉදිරිපත්ව නැහැ. කම්කරු නීති රීතිවල කාලීන සංශෝධනයක් සිදුවිය යුතුයි කියලා අප පිළිගන්නා තැන් තිබෙනවා.
රැකියාව අහිමිවූ සේවකයකුට කම්කරු වෘත්තීය සභාවක් ඉදිරියට ගිහින් සාධාරණය ඉටුකර ගන්න පුළුවන්. නමුත් පවතින ක්‍රමය යටතේ සාධාරණය ඉටුකර ගන්න වසර ගණනක් නඩු කියන්න වෙනවා. සුළු කාලරාමුවක් ඇතුළත මේ ගැටලු විසඳන්න පුළුවන් නම් සේවකයාට මෙන්ම සේව්‍යයාටත් පහසුයි. ඒ විදිහට කම්කරුවන්ට වාසිදායක ලෙස සංශෝධනය කළ යුතු යල් පැනගිය නීති බොහොමයක් තිබෙනවා. නිවෙසේ සිට වැඩ කරන සේවකයන් පිරිසක් බිහිව තිබෙනවා. ඒ වගේම ලංකාවේ සිට විදේශීය ආයතනවල සේවය කරන ශ්‍රමිකයන් සිටිනවා. ඒ වගේම ජීවන වියදම අඩු නිසා මෙරට සිට වෙනත් රටවල සේවය කරන විදේශිකයන් සිටිනවා. මේ ක්ෂේත්‍ර ආවරණය වන ආකාරයට නීති යාවත්කාලීන වෙන්න ඕනෑ.
ඒ ගැන අධ්‍යයනයක් කරන්න නම් මෙරට තිබෙන ජාතික වශයෙන් ක්‍රියාත්මක වන සියලුම වෘත්තීය සමිතිවල නියෝජිතයන් කැඳවා කම්කරු ඇමැතිවරයා සාකච්ඡාවක් කළ යුතුයි. උපදේශක සභාවක් තිබුණත් තවමත් මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදුව නැහැ.
නමුත් පාලක පක්ෂයට වාසිදායක වන ආකාරයට පමණක් ඒ සංශෝධන කරන්න හැදුවොත් අපට එයට එකඟවිමට හැකියාවක් නැහැ. වැඩ කළ යුතු පැය ගණන දින 5 සිට 4 දක්වා අඩු කිරීමේ අයිතිය පාලකයාට දෙන යෝජනාවක් තිබෙන බවට අපට ආරංචි වෙනවා. මෙහිදී පැය 8ක වැඩ මුරය වෙනුවට පැය 12ක සේවා මුරයක් ඇති කිරීමට යෝජනාව තිබෙනවා. මෙවැනි ක්‍රමයක් ඇති වුවහොත් කාන්තාවන් සම්බන්ධයෙන් එය අහිතකර ආකාරයට බලපාන්න පුළුවන්. නීති සකස් කිරීමේ දී අපේ සමාජයේ වැදගත්ම ඒකකය වන පවුල් ඒකකයට එය බලපාන ආකාරය ගැන අවධානය යොමුවිය යුතුයි.
පාඩු ලබන ආයතනයක් වන ශ්‍රී ලන්කන් අලුතින් ගුවන් යානා මිලදී ගැනීමේ ගිවිසුමකට යෑම කෝප් කමිටුව හමුවේ සාකාච්ඡාවට ලක්වුණු අදහසක්. වෘත්තීය සමිති ඒ අවස්ථාවේ පරිපාලනය ගත් තීරණය වෙනුවෙන් පෙනී සිටියේ ඇයි?
පසුගිය පරිපාලනය ඇතිකර ගත් කල්බදු ගිවිසුම නිසා අපට වැඩි මිලකට ගුවන්යානා ගැනීමට සිදු වුණා. ඒ කල්බදු ගිවිසුම්වල කාලය අවසන් වෙමින් තිබුණෙ. මේ කාලය වන විට කොවිඩ් වසංගතය නිසා ගුවන් යානාවල මිල අඩුව තිබුණා. ඒ අවස්ථාව භාවිතකර වඩා පහසුකම් තියෙන නවීන ගුවන් යානා අඩු මුදලකට ගන්න ගිවිසුමකට යන්න අප කල්පනා කළා. අලුත් මිල ගණන් යටතේ මිලියන 100ක් වටිනා ගුවන් යානා මිලයන 60කට ගන්න හැකියාව තිබුණා. හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා දේශපාලන අවශ්‍යතාව වෙනුවෙන් ශ්‍රීලන්කන් පන්දුවට උඩ දා ගෙන පහර දුන්නා. තෙල්, ගෑස් පෝලිම් තිබුණ අවස්ථාවක ශ්‍රීලන්කන් සමාගම ගුවන් යානා ගන්න හදනවා කියලා චිත්‍රයක් හර්ෂ ද සිල්වා රටට පෙන්නුවා. ඒ වෙලාවේ ජනතාව හිටිය මානසිකත්වය අනුව මේ ගනුදෙනුව නවත්වන්න අවශ්‍යය පසුබිමක් හැදුණා.
ආයතනය පවත්වා ගෙන යන්න අවශ්‍ය ගුවන් යානා නැති නිසා පසුව අමාත්‍යාංශය ගුවන් යානා ගන්න අවසර දුන්නා. එතකොට ගුවන් යානාවල වෙළෙඳපොළ මිල ඉහළ ගිහින්. අඩු මිලකට ගන්න තිබුණු ගුවන් යානා කෝප් තීරණය නිසා වැඩි මිලකට ගන්න වුණා. ගනුදෙනු අධීක්ෂණය කිරීම කෝප් කමිටුවේ වගකීමයි. ඔවුන් තමන්ට පවරා නැති කාර්යයක් කිරීම නිසා
ආයතනයට පාඩු වුණා. හර්ෂ ද සිල්වට අවශ්‍ය වුණේ ශ්‍රීලන්කන් පෞද්ගලිකකරණය කිරීමට අවශ්‍ය මාවත සකස් කිරීමයි. චරිත හේරත් මන්ත්‍රීවරයාත් එයට උදවු කළා.
ප්‍රතිව්‍යූහගත කිරීමට ලැයිස්තුගත කර ඇති ආයතන අතරේ ශ්‍රීලන්කන් එයාර් ලයින් පෙරමුණේ සිටින ආයතනයක්. එම ආයතනයේ නිදහස් සේවක සංගමයේ විධායක සභාව නියෝජන කළ අයකු හැටියට මෙම යෝජනාව ගැන ඔබේ අදහස කුමක්ද?
පෞද්ගලිකකරණයට ප්‍රතිපත්තියක් විදිහට අපි විරුද්ධ නැහැ. පෞද්ගලිකකරණය මගින් යම් ආයතනයක් මෙයට වඩා කාර්යක්ෂම ආර්ථිකයට දායකත්වයක් දෙන්න පුළුවන් නම් එසේ කිරීම ගැන අපේ විරුද්ධත්වයක් නැහැ. හැබැයි එතැනදි ජාතික ආරක්ෂාව, ආර්ථිකයට දක්වන දායකත්වය රැකෙන ආර්ථික මර්මස්ථාවල හයිය රටට අහිමි නොවන ආකාරයට එය කරන්න ඕනෑ.
මේ ආයතනයේ පරිපාලනය 1998 දි එමිරේට්ස් ආයතනයට දෙන අවස්ථාවේදීත් අපි විරුද්ධ වුණේ නැහැ. හැබැයි ඒ අවස්ථාවෙ දුන්නෙත් හොඳම ආයෝජකයට නෙමෙයි. ආයතනය දියුණු කිරීමේ හැකියාව තිබෙන තරගකරුවෙක් නොවන විදේශ ආයෝජකයකුට ආයතනය පැවරීම ගැන අපට ප්‍රශ්නයක් නැහැ. එතැනදි රජයේ ගුවන් සේවය විදිහට බහුතර කොටස් අයිතිය රජය තියාගත යුතුයි. කලින් කිව්ව එකඟතාව අනුව කටයුතු කරන්න කැමැති ප්‍රාග්ධන හැකියාව තිබෙන දේශීය ආයෝජකයෙක් වුවමනා නම් අපට ආණ්ඩුවට හොයලා දෙන්න පුළුවන්.
ශ්‍රීලන්කන් පසුගිය කාලේ පාඩු ලැබුවා වුණත් ඉස්සරහට එහෙම වෙන්නෙ නැහැ. කොරෝනා අවස්ථාවෙ සෑම ගුවන් සේවයක්ම පවත්වා ගෙන ගියේ පාඩු පිට තමයි. නමුත් දැන් අපි ලාභදායක තත්ත්වයට ඇවිත්. කොරෝනා නිසා අඩපණව තිබුණු සංචාරක කර්මාන්තය නැවත යථා තත්ත්වයට පත්ව තිබෙනවා. ශ්‍රීලන්කන් කේටරින් ඇතුළු ලාභදායක අංශ දෙකක් තියෙනවා. විකුණන්නෙ නැතිව ආයතනය පවත්වා ගෙන යන්න පුළුවන්.
රාජ්‍ය ආයතන පාඩු ලබන තත්ත්වයට පත්වීමට දේශපාලන පක්ෂවලට සම්බන්ධ වෘත්තීය සමිති වගකිය යුතු බවට මතයක් තිබෙනවා. පක්ෂයකට සම්බන්ධ වෘත්තීය සමිතියක නායකයකු හැටියට මේ ගැන ඔබට කියන්න තියෙන්නේ කුමක්ද?
ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය කිසිම වෘත්තීය සමිතියකට සම්බන්ධ වෘත්තීය සමිතියක් නෙමෙයි. අපේ වෘත්තීය සමිතිය අතීතයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වෘත්තීය සමිතිය විදිහට පැවතුණා. එහෙත් 2018 වසරේ සමස්ත සාමාජිකත්වය සහභාගී වූ වාර්ෂික මහා සභාවාරයකදි ගත් ඒකමතික තීන්දුවකින් අප ස්වාධීන වෘත්තීය සංගමයක් බවට පත් වුණා. දැන් අපේ වෘත්තීය සමිතියේ කිසිම තනතුරක් පූර්ණ කාලීන දේශපාලනඥයන් දරන්නේ නැහැ. මෙයට පෙර ශ්‍රී නිදහස් සේවක සංගමයේ සභාපති තනතුරේ හිටියේ පක්ෂයේ සභාපති හැටියට කටයුතු කළ තැනැත්තා හෝ තැනැත්තියයි. 2018දි මේ තත්ත්වයේ වෙනසක් කරමින් වෘත්තීය සමිති අංශයේ කෙනකු සභාපති තනතුරට පත් කළ යුතු යයි අප සංගමය තීරණය කළා. ඒ අනුව මේ තනතුරට මා පත්වූවා.
අපි වෘත්තිය කාරණයක් දිහා බලන්නෙ රට පාලනය කරන්නෙ අපට සම්බන්ධ පක්ෂයක්ද යන්න අනුව නෙමෙයි, කාරණයේ සාධාරණත්වය අනුවයි. එතැනදි රටේ ආර්ථිකයට බලපාන ආකාරය හා සේවකයන්ට බලපාන ආකාරය අනුව අපි තුලනාත්මකව තීරණයක් ගන්නවා.
චන්දන ජයවීර
ඡායාරූපය: මාලන් කරුණාරත්න
නව අදහස දක්වන්න