බකුනින් වම්මු | දිනමිණ

බකුනින් වම්මු

වාරියපොළ පැත්තේ වෙළෙඳ සැලකට පෙරේදා රාත්‍රියේ හොරෙක් ඇතුළු විය. ඔහුගේ ප්‍රවේශ මාර්ගය වූයේ වහලය. වහලෙන් ඇතුළු වූ හොරා, රාක්ක උඩ නඟිමින් එහි ඇති බඩු කොල්ලකෑවේය. කඩයේ ඇති බඩු අතුරුදන් වී ඇති බව දුටු හිමිකරුවෝ වෙළෙඳ සැලේ සවි කර ඇති සීසීටීවී දර්ශන පරීක්ෂා කළහ. හොරා වහලෙන් බැස ‘වැඩේ දෙන්නේ’ උපන් ඇඳුමෙනි. හොරකම් කළ හැක්කේ ලැජ්ජා නැති අයෙකුට නිසා, එය සංකේතවත් කරමින් හොරා මෙසේ කළා විය හැකිය. සීසීටීවී දර්ශන ප්‍රසිද්ධ කිරීම වැළැක්වීම සඳහා, මේ මොඩල් එක අත්හදා බැලුවාද විය හැකිය. ප්‍රදර්ශන කාමය නම් අසනීපයක් සමහරුන්ට තිබේ. එය ඇති තැනැත්තා සතුටු වන්නේ ‘පෙන්වාය’. හොරා ඒ ජාතියේ ද විය හැකිය. යමක් කමක් සොරාගෙන, ඒ ආශාව ද ඉටු කර ගැනීම යන ද්විත්ව කාරණයේ, හොරා එකවර යෙදුණා ද විය හැකිය.

අරගලය සඳහා නායකත්වය දුන් චරිතයක් ජංගම ගණිකා මඩමක් කරමින්, විදේශිකයන්ට සහ මෙරට කෝටිපති ව්‍යාපාරිකයන්ට, තරුණ කාන්තාවන් ඉහළ මිලකට අලෙවි කරන ජාවාරමක් ද පෙරේදා, වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීහු අල්ලා ගත්හ.

අරගල භූමියේදී මේ අයට, චීනය අරහන්ය. එසේ වෙද්දී මේ අරගලකරු, අර අහිංසක කාන්තාවන් විකුණමින් සිටියේ චීන ව්‍යාපාරිකයින් පිරිසකටය. ජීවන අරගලය සඳහා එවැනි අපත රැකියා කළ ඔහු, ගෝල්ෆේස් අරගලයේදී ජනාධිපති මන්දිරයට, ජනාධිපති ලේකම් කාර්යාලයට, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාරගේ තලංගම නිවෙසට පහර දීම, මොරටුව නගරාධිපතිවරයාගේ නිවෙසට පහර දී ගිනි තැබීමට සම්බන්ධ වූ අයෙකි.

ගණිකා ජාවාරම මෙහෙයවන ලද අරගල ලොක්කා, මීට මාස තුනකට පමණ පෙර, තවත් පුද්ගලයන් දෙදෙනෙකු සමඟ ව්‍යාපාරිකයෙකුගේ මුදල් බෑගයක් කොල්ලකෑම සම්බන්ධයෙන් ද පොලිස් අත්අඩංගුවට පත්ව සිටියේය.

උපාය දූතයන් යොදවා අරගල ලොක්කාගේ ජාවාරම අල්ලා ගත් සැණින්, ඔහු පොලිසිය වෙත කඩාගෙන පැන්නේය. නීතිඥ සංගමයේ ඉහළ නිලයක රැඳී සිටි ජනාධිපති නීතිඥවරයෙකුගේ නමක් පවසමින් ‘අරගල ලොක්කා’පොලිස් නිලධාරින්ව බිය ගැන්වීමට ද උත්සාහ ගත්තේය. තමාගේ නඩු වෙනුවෙන්, එම ජනාධිපති නීතිඥවරයා පෙනී සිටින බව, කියන්නට පටන් ගත්තේය.

ස්ථාන දෙකකදී ආකාර දෙකක ‘ගේම්’ ගැසීමක් අප උපුටා දැක්වූයේ, වඩා සාධාරණ කුමක්’දැයි සැසඳීම සඳහා නොවේ. අරගලයේ ලොක්කා ද ‘අර විදිහට’ මේ වැඩේට බැස්සා නම් හොඳයි කියන්නත් නෙවේය.

මෙවැනි පිරිසක් ඕනෑම රටක, සමාජයක සිටිති. ඒ සඳහා පාදඩ පන්තිය යන්න ද ටිකක් ක්ලැසික් විදිහට ලුම්පන් පන්තිය යැයි ද කියනු ලැබේ. සමහරු තමන්ගේ ‘මේ විදිහ’ අර්ථකථනය කර ගන්නේ, බොහිමියානුවා යන පදයෙනි. ලුම්පන් යනු ගොබ්බයා යන අර්ථය සඳහා ජර්මන් භාෂාවේ Lumpenproletarier වචනය අනුව සකසන ලද්දකි. ප්‍රංශය ආදී යුරෝපා රටවල්හි සිටින, සංගීතමය, කලාත්මක, සාහිත්‍යමය අභාසය සහිතව අයාලේ යන්නන් හඳුන්වන ලද්දේ බොහිමියානුවා කියාය. මෙය ද එක්තරා ලුම්පන් පන්තියකි. මේ ලුම්පන් පන්තිය මාක්ස් හැඳින්වූයේ සමාජයට සුදුසු නොවන හිඟනුන්, වෛශ්‍යාවන්, මැරවරයන්, හොර තක්කඩි, පාදඩයන්, අහිගුණ්ඨිකයන්, මුඩුක්කුවාසීන්, කර්මාන්තශාලා ආදියෙන් පන්නන ලද පිරිසක් ලෙසය. මේ ගණයට අයත් වන ඉත්ති දුත්තෝ, සුරා දුත්තෝ සහ සූදු දුත්තෝ යන පිරිස පංති භේදය වැටහෙන්නේ නැති ගණයට මාක්ස් වර්ග කළේය. සමාජයට ද කිසිදු ප්‍රයෝජනයක් නොමැති ඔවුන් පංති අරගලයට ද අනවශ්‍ය පිරිසක් බව මාක්ස්ගේ කියැවීම විය.

“ඔබ වඩාත් උග්‍ර විප්ලවවාදියා ගෙන ඔහුට නිරපේක්ෂ බලය පැවරුවහොත්, වසරක් ඇතුළත ඔහු සාර්ට වඩා නරක වනු ඇත.” යනුවෙන්, රාජ්‍යවාදය සහ අරාජිකවාදය යන කතිකාවතේ දී පැවසූ මීහයිල් බකුනින් සිටින ලද්දේ මීට වඩා වෙනස් ස්ථාවරයකය. මාක්ස් විප්ලවය සඳහා අනවශ්‍ය බව කියමින් අහක දැමූ පිරිස, බකුනින් විප්ලවයේ උඩින්ම තැබුවේය. බකුනින්වාදයේ මූලික ශික්ෂාපදය වූයේ, නිර්ධන පංති ආඥාදායකත්වය ද ඇතුළත් සියලුම රාජ්‍ය ආකෘති ප්‍රතික්ෂේප කිරීමය. නිර්ධන පංතියට පැවරුණු ඓතිහාසික කාර්යයක් ගැන බකුනින්වාදීන් විශ්වාස නොකළේය. මේ නිසා ලෙනින් සහ බකුනින් යනු බයිසිකල් සහ අයිස්ක්‍රීම් බඳු එකිනෙකට නොගැළපෙන සංකල්පධාරීහු වූහ.

රුසියන් විප්ලවයේදී පරම හතුරෝ වූ, මේ දෙදෙනා ‘අඹ යහළුවෝ’ බවට පත්වන්නේ, ගෝල්ෆේස් පිටියේදීය. කාල්මාක්ස් ද වමෙන් ඕවර්ටෙක් කරමින්, ලෝටස් පාරෙන් ගෝල්ෆේස් පිටියට ඇතුළු වූ මේ රටේ වම්මු, එතැනදී එක පොදියට බකුනින් ගැන්සිය සමඟ වැඩ දැමූහ. ලුම්පන්, බොහිමියන් ආදී සියලු ප්‍රජාව එතැන විය. මේ උමතු වූවෝ හැරුණු කල ලයිට් නැති නිසා, රැකියා අවදානම් නිසා, ගෑස් සහ තෙල් නැති නිසා මඟට බට සැබෑ මිනිස්සු ද වූහ. ආණ්ඩු විරෝධී දේශපාලනයේ යෙදුණු කණ්ඩායම් ද වූහ. එසේ වෙද්දී අරගලයේ නායකයෝ වූයේ, පෙරේදා ගණිකා මඩමක් කර මාට්ටු වූ ජාතියේ පිරිසය. එක්කෝ ඩිප්ප්‍රෙෂන්කාරයෝය. පෙති තොගයක් බී, ගොඩිගමුවේදී මිහිදන් කරන ලද්දේ ඒ ජාතියේ අයෙකි.

වැඩි වැඩ දමා, මාලඹේදී, මැයි නව වෙනිදා “මට ළමයෙක් ඉන්නවා...” කිය කියා ගුටි කන්නේ ඒ ජාතියේ අයෙකි. ඒ ජාතියේ එකෙක් ගුටි කෑ ගමන්, සමහර පක්ෂ නායකයෝ, කැමරාකරුවෝ ද ගෙන සැප දුක බලන්නට යන්නේය. ගල්කිස්සේ ජංගම ගණිකා නිවාසකාරයා ද බැලීම සඳහා ඒ පක්ෂ නායකයෝ දැන් රිමාන්ඩ් බන්ධනාගාරයට යනවා ඇත. “මම ද අරගලයේ පංගුවක් හෝ ගනිමි.” කියා ඔය නායකයා ගෝල්ෆේස් ගොස්, වාහනයේ සොයා ‘රිවයින්ඩ්’ ගිය හැටි තවමත් අද ඊයේ වගේ, ජනතා මතකයේ ඇත. ඒ විදිහට රිවයින්ඩ් කළ හැකි බටනයක්, සෝනි සමාගම ද තවම නිමවා නැත. ඒ කෑම අමතක වී මේ පාදඩ පන්තිය පස්සෙන් යළිත් යන්නේ, තව පාරක් කවුරුන් හෝ පාරට බස්සවා, මේ රට ගිනි තැබීමේ හීනය සඳහාය.

නව අදහස දක්වන්න