ගොවීන් සවිබල ගැන්වීමෙන් රට ගොඩනඟන්න පුළුවන් -ආචාර්ය යසන්තා මාපටුන කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිංත්ව ව්‍යාපෘතියේ (SAPP) අධ්‍යක්ෂිකා | දිනමිණ

ගොවීන් සවිබල ගැන්වීමෙන් රට ගොඩනඟන්න පුළුවන් -ආචාර්ය යසන්තා මාපටුන කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිංත්ව ව්‍යාපෘතියේ (SAPP) අධ්‍යක්ෂිකා

ජාතික කෘෂිකාර්මික දත්ත පද්ධතියක අවශ්‍යතාව තියෙනවා

ඍජු සහ වක්‍ර රැකියා දහස් ගණනක් බිහි වී තියෙනවා

බැංකු එක්ක එකතු වී ව්‍යාපාර ලෝකයේ ඉහළට යා හැකියි

 

ව්‍යාපෘතියක් අරඹන්නේ රටේ සංවර්ධන කර්තව්‍යය උදෙසාය. මෙරට නොයෙක් ආකාරයේ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කොට ඇත. එසේම ඉදිරියේද ක්‍රියාත්මක කරනු ඇත. නමුත් මෙරට ක්‍රියාත්මක කළ ඇතැම් මහා පරිමාණ ව්‍යාපෘති පිළිබඳව මහජනතාවගේ කිසිදු පැහැදීමක් නැත. ඇතැම් ව්‍යාපෘති මුල්ගල්වලට සීමා වූ සැටියකි. එහෙත් නිසි කළමනාකරණය සහිතව මනා කැපවීමෙන් යුතුව දියත් කළ විට ඉන් මහඟු ඵල ලැබිය හැකි වනු ඇත. ඊට මඟ කොයිබද? මේ කතාබහ කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව ව්‍යාපෘතියෙහි (SAPP) දීප ව්‍යාප්ත වැඩසටහනේ අධ්‍යක්ෂිකා ආචාර්ය යසන්තා මාපටුන මහත්මිය සමඟිනි.

 

 ඔබ නියුතු 'සැප්' ( sapp) ව්‍යාපෘතිය දැන් රටපුරාම ප්‍රචලිතයි?

මේ ව්‍යාපෘතියට දැන් අවුරුදු 4ක් වෙනවා. එදා පටන් මෙදා දක්වා මෙහි වෙනස අති විශාලයි. මේ වන විට "කිතුල් නම් ඇහැලියගොඩ තමයි" කියලා කතාවකුත් හැදිලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, හතුවලටත් දැන් ඒක එහෙමමයි. අනෙක නයි මිරිස්වලිනුත් නිවෙසේ සිටම ලොකු අදායමක් උපයන්න පුළුවන් වග අපේ ගොවි ව්‍යවසායකයන් ඔප්පු කර තියෙනවා. ඒ ප්‍රධාන වගාවන්. ඊට අමතරව එළවළු, පලතුරු වගාවනුත්, සත්ත්ව පාලනය ආදී සෙසු රැකියාවලට මඟ පෙන්වීමත් මේ යටතට අයත්. ඒ මඟිනුත් තවත් අමතර ආදායමක් ගොවීන්ට ලැබෙනවා. ඉන් බොහෝ දෙනකුගේ ජීවන තත්ත්වය උසස් වෙනවා.

ලෝක කෘෂිකර්ම අරමුදලේ ණය පහසුකම් යටතේයි මේ දීප ව්‍යාප්ත ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන්නේ. දේශපාලනඥයන්ගේ හෝ අන් කිසිවකුගේ බලපෑම් නැති මේ ව්‍යාපෘතිය මුළුමනින්ම ගොවි ව්‍යවසායකයන් විසිනුයි පවත්වාගෙන යන්නේ. රාජ්‍ය අංශයෙන් මහ බැංකුව, කෘෂිකර්ම අමාත්‍යාංශය, පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තු, රක්ෂණ සමාගම්, දිස්ත්‍රික් ලේකම් කාර්යාල ආදියේ අධීක්ෂණයට යටත්ව විනිවිද පෙනෙන අන්දමේ පාරදෘශ්‍ය භාවයකින් යුතුවයි මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන්නේ.

 

කුඩා පරිමාණයෙන් එතරම් දෙයක් කළ හැකිද?

මොකද බැරි. අනෙක අපේ රට එහෙම මහා පරිමාණ ගොවිබිම්වලින් හැදුණ එකකුත් නෙවෙයිනේ. කුඩා වගා බිම් තමයි හැදී තියෙන්නේ. ඉතින් ගොවීන් 57,500ක් ඉලක්ක කරගෙනයි, රජය, පෞද්ගලික අංශය හා ගොවි ව්‍යවසායකයන්ගේ එකමුතුවෙන් යුතු විවිධ හවුල්කාරිත්ව වැඩසටහන් 40ක් ඉලක්ක කළේ. මේ වන විට ඉන් ව්‍යාපෘති 36ක් සම්පූර්ණයි. ඒ තුළ ගොවීන් 43,000ක් ඇතුළත්.

බිම්මල්, කිතුල් කර්මාන්තවලින් රුපියල් තිස්හයදහසක සිට රුපියල් ලක්ෂ ගණනින් මාසික අමතර ආදායමක් ගොවි ව්‍යවසායකයන් උපයනවා. හරිතාගාර ඇතුළු නවීන පහසුකම් යටතේ අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුතුවයි බිම්මල් නිෂ්පාදන කරන්නේ. අපි එක් වර්ගයකින් ඇරඹූ ඒ වගාව දැන් බිම්මල් වර්ග හතරක් වගා කරන තැනට දියුණුයි. මුලින් අපි ඊට සුදුස්සන් සොයමින් ගම් නියම්ගම් ඇතුළතට ගියා. එහිදීත් සැබැවින්ම දිරියෙන් නැඟී සිටින්නට වෙර දරන, ඒත්, ප්‍රාග්ධන ගැටලු ඇති අය ළඟයි sapp නැවතුණේ. මේ නිසා සබරගමුවේ කෑගල්ල ආදී ප්‍රදේශවල කිතුල් ආශ්‍රිත කර්මාන්තවල දියුණුවක් ඇති වුණා.

 

අඩු ආදායම්ලාභී අයට නැඟී සිටින්න දිරි ලැබෙනවාද?

ඔව්. ඉඩමක අයිතිය නැති අයට ප්‍රමුඛතාව දීමයි මේ ව්‍යාපෘතියේ ස්වභාවය. ප්‍රධාන, උපදෙස්, මඟ පෙන්වීම් ආදියත් සමඟ 6.5% සහන පොලියට ණය දෙනවා. වෙළෙඳ පොළ අවස්ථා ඇති කරනවා. අන්ත දුගී අයට ප්‍රදාන විදියටමයි මේ වැඩසටහන යටතේ බොහෝ සම්පත් දුන්නේ. ඒ අනුව ඒ අයට යම් ස්ථාවරයකට පැමිණිය හැකියි. ඉන් එහාට බැංකු කටයුතු කරමින් කෙමෙන් ව්‍යාපාර ලෝකයේ ඉහළට ගමන් කළ හැකියි. ව්‍යවසායකත්ව දැනුම වර්ධනයටත් වෙනමම වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඒ අනුව කවදාවත්ම බැංකු ගනුදෙනු නොකළ සමහරු අද ශූර ව්‍යවසායකයන් බවට පත්වීම අපිටත් ලොකු සතුටක්. මහියංගණය 'ගලමුදුන' ගම්මු අස්වනු, නිෂ්පාදන කර ගහගෙන 8km ටවුමට එන්න ඕනෑ. ඉතින් ඒ අයට අඩු දුරකින් ඒ ගමන යන්න අපි ගමට පාලමක් තනා දුන්නා. ඒත් මුලින් මේ කිසිවක් පහසු වුණේ නැහැ. මුලින් බොහෝ දෙනෙක් අපේ යෝජනා ප්‍රතික්ෂේප කළා. ඒත් කිහිප දෙනකු සාර්ථක වෙද්දී තවත් වැඩි දෙනෙක් එකතු වුණා. ඔහොම දුෂ්කරතා මැදින් මේ ගමන ආවේ.

 

නමුත් ඇතැම් ගොවි ණය බොල් ණය විදියට කපා දමන්න වුණා නේද?

ඒත්, මේ ව්‍යාපෘතිය කලින් තිබුණු හුඟක් ව්‍යාපෘතිවලට වඩා වෙනස්. අපේ හැමෝම නැවත ණය ගෙවීම අතින් එය ඉතා සතුටුදායක තැනක ඉන්නවා. විශේෂයෙන් රජයේ බැංකු මේ වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කිරීමත් කෙටි කලෙකදී මෙතරම් සාර්ථකත්වයක් අත් කර ගැනීමට රුකුලක් වුණා. අනෙක ආදායම් ඉහළ යෑමත් සමඟ ඒ හුඟ දෙනෙක් දෙවැනි, තෙවැනි ණයත් අරන් ව්‍යාපාර පුළුල් කරමින් ඉන්නවා. ණයට අදාළ සාක්ෂිකරුවන් වුණේ තවත් ගොවීන් දෙදෙනෙක්.

ඒ තරමට සරල තැනකට බැංකු කටයුතු පහසු කළා. ඉතින්, උදාහරණයක් විදියට කිතුල් කර්මාන්තය ගත් විට, දැනටමත් ඒ නිෂ්පාදන අ‍ෙමරිකාව, ඩුබායි, ස්විට්සර්ලන්තය, කොරියාව වැනි රටවලට වැඩි පුර අපනයනය කරනවා. එහිදී අපි ඉතා පරෙස්සම් වෙනවා. එක් එක් රටවල් ආනයනවලදී කටයුතු කරන ආකාරය වෙනස්. ඊට අදාළ නිර්ණායක අපි අනිවාර්යයෙන්ම සපුරන්න ඕනි. ඊට නිසි සැලකිල්ලක් දැක්විය යුතුමයි. එහෙම නොවුණොත්, මුරුංගා අපනයනයේදී අත්විඳි කටුක අත්දැකීමට නැවත නැවත මුහුණ දීමට ඉඩ තිබුණා. එකවර විශාල ගොවීන් ප්‍රමාණයක් එක් කරගෙන කඩිනමින් ඉදිරියට යනවා වෙනුවට ගැටලු හඳුනාගෙන ඒවා නිරාකරණය කරගෙන සෙමෙන් ඉදිරියට යෑමෙන් අපේ කෘෂි ව්‍යවසායකයන්ට ස්ථිරසාර දියුණුව සැලසුණා.

අපනයනය පැත්තෙන් වැඩිදුරටත් කතා කළොත්, ඇත්තෙන්ම, ජපානය, අ‍ෙමරිකාව, ඩුබායි, මාලදිවයින ආදී රට රටවල එම කොන්දේසි තරමක් එකිනෙකට වෙනස්. 'ඕගනික්' නිෂ්පාදනවලදී ගොවිබිමේ ඉඳන්ම ඊට අදාළ සහතික එකිනෙක ගත යුතුමයි. ඒ ගැන නිසි අවධානය යොමු කිරීමෙන් අපට ඒ අභියෝග දිනන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ අනුව අපේ ගොවි ව්‍යවසායකයන්ගේ ආදායම සරුයි. ඒත්, වෙනදා මලක් මැදලා, ඒ ඵලදාව පුද පූජා කරලා, අහල පහල අයත් එක්ක බෙදාගත්ත අය, ඉතිරි වුණොත් විතරක් අලෙවි කළේ. මේ ව්‍යාපෘතියත් එක්ක රත්නපුරය, කෑගල්ල ප්‍රදේශවල කිතුල් ව්‍යවසායකයන් 600කට වැඩි දෙනෙක් ඉන්නවා. ඒත් කිතුල් පැණි බෝතලයක් විකුණන්නේ රුපියල් 500ක් තරම් මිලකටයි. එය අද මෙරට වෙළෙඳ පොළේ රුපියල් 1200ක් වෙනවා. මේ වන විට දවසකට කිතුල් මල් තුනකින් වත් වැඩ ගන්නයි ඔවුන් පෙලඹෙන්නේ. ඒක එහෙම වුණාම මසකට රුපියල් ලක්ෂ එකහමාරක ආදායමකට ළඟාවීම කිසිසේත් අපහසු නැහැ. අපි නිෂ්පාදන සමාගම් ඇති කිරීමටයි කටයුතු කරන්නේ. මේ ව්‍යාපෘතියේ කාලය හමාර වුණත්, ගමේ සංවර්ධනය නොනැවතී ඉදිරියට යන විදියටයි කටයුතු සලසා තියෙන්නේ. දැනට රට පුරා කිතුල් ගස් ලක්ෂ 30ක් විතර ඇතැයි සැලකෙනවා. එය තවත් ලක්ෂ 10කින් ඉහළ නැංවීමට අලුතෙන් ගුණාත්මක පැළ සිටුවීම සිදු කෙරෙනවා. මේ වන විටත් මෙරට ප්‍රකට පෞද්ගලික වැවිලි ව්‍යාපාර වාණිජ වගාවක් විදියට කිතුල් කෙරෙහි යොමු වෙමින් සිටිනවා. ඒක හොඳ ප්‍රවණතාවක්.

 

නිෂ්පාදන විවිධාංගීකරණයක් නැතිකම මෙරටට ලොකු ගැටලුවක් නොවෙයිද?

ඒක එහෙම නොවිය යුතුයි. ගොවියාට යන එන මං නැති තැනට වැඩ යෙදෙන්නේ එහෙම වුණාමයි. සමහරු අස්වනු නෙළන්නේවත් නැතිව ගොවිබිමටම පොහොර වෙන්න හරින්නේ එතකොටයි. මෙරට ජාතික කෘෂිකාර්මික දත්ත පද්ධතියක අවශ්‍යතාව එයින් පෙන්නුම් කරනවා. ඒ ඇතුළු මෙරටට ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් තවම නැහැ. එය සැකසීමට ආණ්ඩුවේ අවධානය යොමු වී තියෙනවා.

ඒක ආණ්ඩු වෙනස් වුණත් වෙනස් වෙන එකක් නෙවෙයි. එසේම එය ඉක්මනින්ම ක්‍රියාවට නැංවෙතැයි අපේක්ෂා කරනවා. ඊට අදාළ ජාතික සභාවේ සාමාජිකත්වය දරන මට මෙවැනි ව්‍යාපෘති ඔස්සේ ලැබෙන ප්‍රායෝගික අත්දැකීම් ඉතා වැදගත්. එවිට ගැටලු අවම කරගෙන කෘෂිකර්මාන්තයේ යෙදීමට වගාකරුවන්ට මඟ පෙන්වීම් කළ හැකියි. අපේ ගොවීන්ට බොහෝ විට පාරිභෝගිකයාට වුවමනා දේ නොදැන වගා කිරීමේ වරදට වන්දි ගෙවන්න වෙනවා.

ඒත් තවදුරටත් එය එසේ වීමට රටක් විදියට අප ඉඩ නොතැබිය යුතුයි. මේ ව්‍යාපෘතිය යටතේ ගොවි ව්‍යවසායකයන් මුල ඉඳන්ම තමන් නිෂ්පාදන කරන්නේ ස්විට්සර්ලන්තයට ද? ඩුබායි රාජ්‍යයට ද? චීනයට ද? ආදී වශයෙන් දැනගෙනයි කටයුතු කරන්නේ. රට තුළ නව ව්‍යවසායකයන් දෙදහසක් බිහි කිරීම මේ ව්‍යාපෘතියෙන් ඉටු වූ තවත් මෙහෙවරක්. ඒ වගේම අන්තර්ජාතික ප්‍රමිති සහතික ආදිය ගැනීමේදී මේ ව්‍යාපෘතියේ ප්‍රවර්ධන ආයතනයෙන් විශාල සහායක් වගාකරුවන්ට ලැබෙනවා. එවිට වෙළෙඳ පොළ ඉලක්ක කර ගත් නිෂ්පාදන කිරීම ගොවීන්ට වඩාත් පහසුයි.

 

මන්දපෝෂණය අපේ රට හමුවේ ඇති තවත් අභියෝගයක්?

මේ ව්‍යාපෘතිය යටතේ ඇති විවිධ ව්‍යාපාර 40න් 12ක් නැවුම් දියර කිරි නිෂ්පාදනය වෙනුවෙන් වෙන් වෙනවා. අපිට නිතර මඟ පෙන්වීම් කරන, නිතරම මේ ව්‍යාපෘතිය අධීක්ෂණය කරන කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා කිරිපිටි ආනයනයට වාර්ෂිකව වැය වන අතිවිශාල මුදල රට තුළ ඉතිරි කර ගැනීමට වැඩි අවධානයක් යොමු කරනවා. ඒ වගේම, දියර කිරි රට තුළ ප්‍රචලිත කිරීමටත් කටයුතු කරනවා. බිම්මල් තවත් එවැනි පෝෂ්‍යදායී ආහාරයක්. එය රට තුළ ප්‍රචලිත කිරීම කෙරෙහිත් අමාත්‍යවරයා වැඩි අවධානයක් යොමු කරනවා. මේ වන විටත් බිම්මල් ඇසුරෙන් බිස්කට්, සොසේජස් ආදී අගය එකතු කළ නිෂ්පාදන බිහි කරමින් අපේ කෘෂි ව්‍යවසායකයන් පෙරට ඇවිත් ඉන්නවා.

 

අපි අගය එකතු නොකර අපනයන කටයුතු කරන රටක් කියලත් සමහරු කියනවා?

තවදුරටත් එය එසේ නොවිය යුතුයි. බිම්මල් ඇසුරෙන් නිෂ්පාදනය කළ, සොසේජස්, බිස්කට්, සීනි සම්බෝල ආදියට දේශීය වෙළෙඳ පොළේ ලොකු ඉල්ලුමක් තියෙනවා. අපනයන වෙළෙඳ පොළ ජයගත හැකි ආකාරයේ ඉහළ ප්‍රමිතියකින් නිපදවන ඒවාට විදෙස් වෙළෙඳ පොළ ජය ගැනීමත් අපහසු නැහැ. ඊට අදාළ ප්‍රමිතීන්, නිර්ණායක සපුරා ගැනීමට නිරන්තර මඟ පෙන්වීම් ව්‍යාපෘතියේ ප්‍රවර්ධක කරනවා. ඔහුම ගොවි බිමටම පැමිණ නිෂ්පාදන සුරැකිව සැකසුම් මධ්‍යස්ථාන කරා ගෙන ගොස් සුපිරි වෙළෙඳ සැල් ආදී වෙළෙඳ ජාලයට යොමු කරමින් ගොවීන්ට වැඩි ආදායමක් ලැබෙන්නටත් ඉඩ සලසනවා. අපනයන තත්ත්වයට එම නිෂ්පාදන ගෙන ඒමටත් මේ ව්‍යාපෘතියේ ප්‍රවර්ධකවරු විශාල වැඩ කොටසක් කරනවා. ඍජු වගේම තවත් වක්‍ර රැකියා දහස් ගණනක් ඒ අනුව බිහි වී තියෙනවා.

 

ගොවියාට තමන්ගේම ස්ථිර තැනක් නැතිකම අඩුවක් නේද?

ඉදිරියේදී තල්, පොල්, කිතුල් වෙනුවෙනුත් වෙනමම සංවර්ධන අධිකාරියක් පිහිටුවීම කෙරෙහිත් කෘෂිකර්ම ඇමැතිවරයාගේ අවධානය යොමු වී තියෙනවා. එච්චරක් නෙවෙයි, මීට වෙන් කළ මුදලෙන් ඩොලර් මිලියන 33කින් ගොවි බැංකුවක් ආරම්භ කිරීමටත් අපේක්ෂා කරනවා. කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව ව්‍යාපෘතිය හරහා මෙරටට සුවිශාල මෙහෙවරක් කරීමට හැකි වනු ඒකාන්තයි.

 

නුවන් මහේෂ් ජයවික්‍රම
ඡායාරූපය - සුදත් නිශාන්ත     

නව අදහස දක්වන්න