උසාවි නියෝග කඩමින් තිස්ස විහාරය ඉදිරිපිට විරෝධතා දැක්වූ 9ක් අත්අඩංගුවට | දිනමිණ

උසාවි නියෝග කඩමින් තිස්ස විහාරය ඉදිරිපිට විරෝධතා දැක්වූ 9ක් අත්අඩංගුවට

පලාලිහි පිහිටි තිස්ස බෞද්ධ විහාරස්ථානයේ ඉදි කර ඇති අඩි 100ක් උස දාගැබේ කොත නිරාවරණය කිරීමේ උත්සවයට එරෙහිව විරෝධතා අත්හිටුවන ලෙස මල්ලාකම් අධිකරණයෙන් නියෝගයක් දී තිබියදීත් විරෝධතා දක්වමින් සිටි 09 දෙනකු පලාලි පොලිසියේ නිලධාරීන් විසින් පෙරේදා (23) අත්අඩංගුවට ගෙන තිබේ.

දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF) යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වතුරේ ගජේන්ද්‍රන් මහතාගේ පුද්ගලික ලේකම්, නීතිඥවරයකු, මාධ්‍යවේදියකු, ගොවියකු සහ දෙමළ ජාතික ජනතා පෙරමුණේ ප්‍රදේශීය සංවිධායකවරු 05 දෙනකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

මේ අය අතර කාන්තාවන් 04 දෙනකු සිටින බව පලාලි පොලිසිය කියයි.

මෙම උද්ඝෝෂණය මෙහෙයවනු ලබන්නේ දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍ර මහතා බවත් ඔහු ඊයේ (24) දිනයේත් විහාරස්ථානය ඉදිරිපිට විරෝධතා පුවරුවක් රැගෙන රැඳී සිටි බවත් කන්කසන්තුරය කොට්ඨාසය භාර පොලිස් අධිකාරී චන්දන ගමගේ මහතා පැවසීය. මෙහිදී මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගැනීමක් නොකළ බව ද පොලිස් අධිකාරිවරයා කීය. තිස්ස විහාරස්ථානයේ ඉදි කර ඇති චෛත්‍ය නිරාවරණය කිරීමේ උත්සවය ඊයේ (24) සහ අද (25) දින පැවැත්වෙන බවද පොලිස් අධිකාරිවරයා කීය.

මෙම උත්සවයට විරෝධය දක්වමින් දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍ර ඇතුළු පිරිසක් උද්ඝෝෂණයේ නිරතවන්නේ දින කිහිපයක සිට බව ද පැවසීය.

පලාලි පොලිසිය සඳහන් කරනු ලැබුවේ 20 දෙනකුගෙන් පමණ සමන්විත පිරිසක් මෙසේ උද්ඝෝෂණයේ නිරතව සිටි බවය.

මේ සම්බන්ධයෙන් මල්ලාකම් අධිකරණයට 22 වැනිදා පොලිසිය කරුණු වාර්තා කර විරෝධතාව අත්හිටුවීමට නියෝගයක් ලබාගෙන තිබේ. එම නියෝගය තිබියදීත් පෙරේදා (23) උද්ඝෝෂණයේ නිරත වීම සම්බන්ධයෙන් මෙම සැකකරුවන් 09 දෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ අධිකරණ නියෝගය කඩ කරමින් අයුතු ජනරාශිකය සාමාජිකයන් වීම සම්බන්ධයෙන් වූ චෝදනා සම්බන්ධයෙන් බව පලාලි පොලිසිය සඳහන් කළේය.

පොලිසිය මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී ඔවුන් විරෝධතාව අතහැර අසල වූ පෞද්ගලික ඉඩමකට දිවගොස් ඇති බව සඳහන්ය. එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් ඔවුන්ව හඹා ගොස් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම අවස්ථාවේදී මන්ත්‍රීවරයා ඊට විරෝධය දක්වමින් පොලිසිය සමඟ පොරබදා ඇති බවත් එහිදී පොලිස් නිලධාරීන් ඔහුව ඔසවාගෙන ගොස් ඇතත් අත්අඩංගුවට ගැනීමක් නොකළ බව පලාලි පොලිසිය ද සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 09 දෙනා මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

ගයාන් කුමාර වීරසිංහ, උතුරු පළාත් විශේෂ - රසුල දිල්හාර ගමගේ

නව අදහස දක්වන්න