ඉම්පෝර්ට් වැඩේට කියාපු තැන | දිනමිණ

ඉම්පෝර්ට් වැඩේට කියාපු තැන

අලි සබ්රි රහීම් සිද්ධියෙන් යළි උපන්නේ, අනුර ඩැනියෙල්ය. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැතිවරයෙකු වූ අනුර ඩැනියෙල්, රත්රන් පොලු වගයක් රැගෙන ගුවන් තොටුපොළෙන් ඇතුළට පැමිණියේය. සාමාන්‍ය මගී පර්යන්තයක මෙන් නොව, වී.වී.අයි.පී. දොරෙන් ඇතුළු වන විට පරීක්ෂණ නැත. ඔහේ පැමිණිය හැකිය. අපි එයාර්පෝට් දොරෙන්, මව්බිමට පා තැබීමට පෙර, ලෙඩ ඇඳේ සිටින තාත්තාට ගත් බෙහෙත් ටික, එහෙන් එනකොට මෙහෙ ගෙදරට දෙන්න කියා යහළුවෙකු දුන් සැන්ට් බෝතල් ටික ආදිය පිළිබඳව ද කිහිප වරක් සිතන්නේය. එන අතරමඟ බෑග් හැර බලන නිලධාරීන්, දත් මදින බුරුසුව ආදියේ සිට සමහර විට අවුස්සා බලන්නේය. ඒ රාජකාරිය පිළිබඳව අපගේ අමනාපයක් නැත. අප අහිංසක යැයි දන්නේ අප වුවද, අප වැනිම ආකාරයෙන් හොරාට මේ රටට කුඩු එන්නේය. අයිස් එන්නේය. හොරෙන් සෙල් පෝන් ගෙන එන්නේය. රත්රන් ගෙන එන්නේය. මේ නිසා නිලධාරියා කාටත් බෙදන්නේ එක හැන්දෙනි.

ජේ.ආර්. ජනාධිපති සමයේ අනුර ඩැනියෙල් ගුවන් තොටුපොළෙන් එළියට යෑම සඳහා පැමිණියේ, විශේෂ පර්යන්තයෙනි. සමහරු කියන්නේ ඔහුගේ මල්ලේ රන් පොලු තිබූ බවය, සමහරු කියන්නේ ඔහු රත්රන් ගිල පැමිණි බවය. රේගුවේ නිලධාරීන් මන්ත්‍රී කියා, නොසිතා අනුර ඩැනියෙල් පරීක්ෂාවට ලක් කළේය. මෙවැනි විශේෂ ඇතුළු වීම් පර්යන්තයක් ජනතා නියෝජිතයන්ට, තානාපතිවරුන්ට, ලබා දී ඇත්තේ චෙක් නොවී හොර බඩු ගෙන ඒමට නොව, ජනතා රාජකාරිය සඳහා පෝලිමේ රස්තියාදු නොවී එළියට ඒමටය. එමට රාජකාරි ඇති ඒ පිරිස සඳහා ලබා දී තිබෙන ඒ විශේෂ අවස්ථාව අනුර ඩැනියෙල් ප්‍රයෝජනයට ගත්තේ, ගාණක් ගරා ගන්නටය. සිද්ධිය වූ සැණින්, ජේ.ආර්. ඔහු සතුව තිබූ සිය මන්ත්‍රී කැලගේ දින නොදැමූ ලියුම් අතරින්, අනුර ඩැනියෙල්ගේ ලියුම තෝරා ඉල්ලා අස්වීම සඳහා දිනය දැමුවේය.

අලි සබ්රි රහීම් ඒ ලැයිස්තුවේ දෙවැනියා නොවේ. අහුවුණු දෙවැනියාය. කලකට ඉහත ආණ්ඩුවක සිටි නියෝජ්‍ය ඇමැතිවරයෙක් සිය පුතා සමඟ මේ රටට මත්ද්‍රව්‍ය ගෙන ආවේ ඔය පාරෙන්ය. ඔහුගේ ඉම්පෝට් බෙල්ට් එක, වී.වී.අයි.පී. පර්යන්තය විය. මේ විදිහට මන්ත්‍රීවරු දහ දොළොස් දෙනෙක් එක දිගට මේ පර්යන්තයෙන් වැඩ ගත්තේය. ඒවා අහු නොවුණේ, කට්ටිය සිද්ධිය දැන නොසිටි නිසා නොව “ඕවාට අත තියන්න ගිහින්, හැන්දෑවට පිහි පහරක් කා, පෙට්ටියෙන් ගෙදර යන්නේ ඇයි දැයි” නිලධාරි මනස තමන්ගෙන්ම විමසා සිටි නිසාය. ගහන කෙනෙක් නැතිව ගුටි වදින, කපන කෙනෙක් නැතිව පුදුමාකාර විදියට කැපෙන කාලයක් වූ හෙයින්, ඒ බය සාධාරණය. “මම රට ඉඳන් එනකොට, ඒ ලෝඩ් එක ගේන්නම්” කියා, එළිපිටම ඒ නියෝජ්‍ය ඇමැතියා කියන්නේ, මත් පෙති බෙදන, කොණ්ඩය පාට කර ගත් සිය ගෝල කැල වෙතය. එහෙම තියෙද්දී අල්ලපු නැති බඩු, “මම එනකොට ද චෙක් කරන එකක් නැහැ” කියා සිතාගෙන අලි සබ්රි රහීම් ද රැගෙන ආවේය. ලද තොරතුරක් මත හෝ මීට පෙර ද ඔය වැනි දේවල් කිරීම පිළිබඳව කතා තිබූ හෙයින් හෝ ඒ කොන්ද පණ ඇති නිලධාරීහු, අලි සබ්රි රහීම් චෙක් කළෝය. හොර පාරෙන් ආ, මුළු රත්රන් තොගයේ වටිනාකම හත්කෝටි හතළිස් ලක්ෂය ඉක්මවා තිබේ. අත්අඩංගුවට ගත් ජංගම දුරකතන තොගය තුළ ස්මාට් දුරකතන 91ක් තිබුණු අතර, එහි වටිනාකම රුපියල් මිලියන 71කි. හොර බඩු තොගයේ මුළු වටිනාකම රුපියල් මිලියන 78.2ක් බව සඳහන්ය.

මේ ජාතියේ හොර ගෙඩියෝ පාර්ලිමේන්තුවට තබා, ඒ පාරෙන් වත් යෑමට ඉඩ නොදිය යුත්තේය. හොඳ මිනිහෙක් පවා දේශපාලනයට නොඑන්නේ, මේ ජාතියේ එකෙක් දෙන්නෙක්, මන්ත්‍රී ධුර සඳහා ගා ඇති ‘කිලුටු ප්‍රමාණය’ ඉහළ නිසාය. සාධාරණව හම්බු කරගත් මන්ත්‍රීවරයෙකුට පවා රටේ තැනකට යා නොහැකි වී ඇත්තේ මේ ජාතියේ බඩු නිසාය. ෆයිල් ප්‍රදර්ශන ආදිය පවත්වා මේ රටේ දේශපාලනඥයා දේශපාලනය විසින්ම හොරු බවට පත් කර තිබේ. ඒ අතරේ, මේ විදිහට ‘රට ගිහින් බඩු ගෙන එන බිස්නස් එකක් මන්ත්‍රීවරයෙකු කරගෙන යන විට, මාට්ටු වී දඩය ගෙවා නිදහස් විය හැකි මුත්, කටඋත්තර නැති වෙන්නේ අනිත් පිරිසටය. ප්‍රකාශ නොකරන රේගු භාණ්ඩ සඳහා දඩයක් සහ අදාළ භාණ්ඩ රාජසන්තක කරන ක්‍රමවේදයක් තිබේ. ඒ අනුව අලි සබ්රි රහීම් දඩ ගෙවා භාණ්ඩ ද රාජසන්තක කර නිදහස්ව ඇත. ඒත් සමහරු දැන් අසන්නේ, ඔහු හිරේ නොගියේ ඇයි කියාය. එහෙම හිරේ දමන්නේ හෙරොයින් වැනි දේ ගෙන්වූ විටය. නැතිනම් දඩය නොගෙවන විටය. සමහරු දත කන්නේ, ආණ්ඩුව මේ මන්ත්‍රීවරයා හිරේ නොදා එළියට ගත් බව කියන්න ය. ඇත්තය, අමුත්තන්ගේ පර්යන්තය ඇත්තේ මේවාට නොවේ. මේවා උපයෝගී කරගෙන ‘ඔය වගේ ගේම් ගහන අයට’ දිය යුත්තේ ‘අනුර ඩැනියල් බැස්ටිය’ය.

හේවාහැට ආසනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ඩැනියෙල් මෙවැනි ගේමක් ගැසුවේ 1984දී ය. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ඔහු අස්කර, ඒ ආසනය සඳහා අතුරු මැතිවරණයක් තැබුවේය.

හිස් වූ ආසනයට තරග කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ඩැනියෙල්ගේ සහෝදරියට නාමයෝජනා ලබා දුන්නේය. ඇගේ මැතිවරණ ව්‍යාපාර ප්‍රධානියා වුණේ අනුර ඩැනියෙල්ය. එම මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා පරදවා විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ඩැනියෙල්ගේ සහෝදරිය ජය ගත්තාය.

ජනතාව ද එහෙමය. එහෙම වුණාට, එහෙම කරන වුන් පළු ගසන්නේය. අලි සබ්රි රහීම් වැන්නෝ යළි මහජන ගැලරියේ සිට පාර්ලිමේන්තු සභා ශාලාව දැකිය යුතු මිස, ඒ උත්තරීතර නියෝජනය සඳහා නම් සුදුසු නැත. එහෙත් ආණ්ඩුව එහෙම කළ ද ජනතාව අරහෙම කිරීමේ ඉඩක් ද තිබේ.

නව අදහස දක්වන්න