කවුරු මොනවා කීවත් ආණ්ඩු‍වේ වැඩපිළිවෙළට රටේ වැඩි පිරිසක් කැමතියි | දිනමිණ

කවුරු මොනවා කීවත් ආණ්ඩු‍වේ වැඩපිළිවෙළට රටේ වැඩි පිරිසක් කැමතියි

පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ

කවුරු මොනවා කීවත් ආණ්ඩු‍ව ගෙනියන වැඩපිළිවෙළට රටේ ජනතාව වැඩි පිරිසක් කැමති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සතුටු වන බව පෙන්වා දෙන ඒ මහතා ඒ තුළින් රටේ පැවති අර්බුද සමථයකට පත් කිරීමට හැකි වූ බව ද කියා සිටී.ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ දී පෙරේදා (23) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා මෙසේ ද කීය. “ගිය අවුරුද්දේ මැයි 09දා වනවිට මේ රටේ තිබුණු තත්ත්වය මේ වසරේ මැයි වෙද්දී උද්ධමනය සෑහෙන තරමට අඩු වෙලා. ඩොලරයත් අඩුවෙලා තිබෙනවා. විවිධ බඩු භාණ්ඩවල මිල ගණන් ඉහළ ගිහින් තිබුණා. මේ වන විට සාමාන්‍ය ජනතාවට අපහසුවක් නැති විදිහට ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයකට පත්වෙලා තිබෙනවා. ඒ වගේම රජය සහනාධාර ක්‍රමය අලුත් කර තිබෙනවා. මේ පළමුවැනිදා සිට ඒ සහනාධාර ලැබිය යුතු පුද්ගලයන්ට ඍජුවම ගිණුම්වලට බැර කරන තත්ත්වයක් තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට අපි ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් කළ එක පිළිබඳව අපි සතුටු වෙනවා. ඒ තුළින් රටේ පැවති අර්බුදය සමථයකට පත් කරන්න හැකි වී තිබෙනවා. අද සංචාරක ව්‍යාපාරයත් සෑහෙන දුරට දියුණු වෙලා. එය තවත් දියුණු වෙන්න අවශ්‍යයි. අපනයන කර්මාන්තයේ යම් යම් අඩුපාඩුකම් තිබෙන අතර එයටත් රජය මැදිහත් වී තිබෙනවා.

ඒ වගේම වෘත්තීය ප්‍රශ්නත් අඩු නැතිව තිබෙනවා. කාලයක් තිස්සේ රාජ්‍ය දේපළ ආරක්ෂා කරගෙන යනවා කියා. දැන් නව ප්‍රතිපත්ති යටතේ තෙල් සංස්ථාව ජාත්‍යන්තර ආයතන සමඟ ගිවිසුම් අත්සන් කර ඇති අතර මේ සතිය වනවිට ඉන්දියානු සමාගමත් සහ අමෙරිකානු සමාගමත් එක්ක සමාගම් තුනක් එක්ක ගිවිසුම් අත්සන් කරනවා. හැබැයි මෙය මේ ආණ්ඩුව පමණක් කරපු එකක් නොවේ. මෙහි මූලිකත්වය ගත්තේ IOC සමාගමට දීලා තමයි ආරම්භ කළේ. IOC සමාගමට වැඩිය දෙයක් මෙයින් වෙනවා. බෙදුම්කරුවා ඝෘජුවම තෙල් වෙළෙඳාමේ යෙදෙන කණ්ඩායමක් බවට පත්වෙනවා. එයින් අපි බලාපොරොත්තු වෙනවා ලෝකයේ අනිත් රටවල්වල වගේ පාරිභෝගිකයන්ට යම්කිසි සහනයක් හම්බ වෙයි කියා. ඒ වගේම විදුලිය මිල වැඩි කළා. දැන් විදුලි මිල අඩු කරන්න හදනවිට ආරවුලක් තිබෙනවා.

ඒ හින්දා අපි කල්පනා කරන්න ඕනෑ. මෙය ශක්තිමත්ව ඉදිරියට ගෙනි යන්නේ කොහොමද කියලා. දැන් අලුතින් මතු වෙනවා කැරැල්ලේ හිටපු පිරිස. ගෑනු ළමයින් විකුණන ව්‍යාපාරවලත් ඉඳලා තිබෙනවා. රට පුරාම හොරකමක් වෙනවා නම්, කුඩු විකුණනවානම් කොහේ හරි අරගලයේ හිටපු කෙනෙක් තමයි සම්බන්ධ. මේ පිරිසට බලය දුන්නා නම් කොහොම වෙයිද ? දැන් අන්තරේ නායකකම වෙනස් කර ඒකට ජවිපෙ සහ පෙරටුගාමීන් ගහ ගන්නවා. අද අපට තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි මේ ගෙනියන වැඩපිළිවෙළ කඩාකප්පල් කරන්න විවිධාකාරයෙන් බලවේග ඇවිත් තිබෙනවා. අපි කනගාටු වෙනවා ජී.එල්.පිරිස් මහතා වගේ උගත් බුද්ධිමත් උදවියත් මේවා ගැන කියන ප්‍රකාශ අපට පිළිගන්න පුළුවන්කමක් නෑ. අපි විශ්වාස කරනවා දෙසැම්බර් මාසය වනවිට ඩොලරය තවත් අඩුවෙයි කියා. එයින් රටේ ආර්ථිකය ශක්තිමත් වෙයි කියලා. විවිධ පිරිස් විවිධ චෝදනා කරනවා. ආණ්ඩුව ගෙනියන වැඩපිළිවෙළට කවුරු මොනවා කිව්වත් රටේ ජනතාව සෑහෙන පිරිසක් කැමතියි. මේ වැඩපිළිවෙළ සාර්ථකව ගියොත් දෙසැම්බර් වන විට IMF එකේ මුදලුත් එක්ක ආයෝජකයන්ගේ පැමිණීමත් එක්ක මීට වැඩිය හොඳ රටක් නිර්මාණය කරන්න පුළුවන්Ó යනුවෙන් සඳහන් කළේය.

මහින්ද අලුත්ගෙදර

 

නව අදහස දක්වන්න