දිඹුලාගල වීර කාව්‍යය | දිනමිණ

දිඹුලාගල වීර කාව්‍යය

අප්‍රියජනකගේ ‘අල්ලං සෙල්ලං’ පෙරේදා පස්වරුවේ නිමාවට පත් විය. හේ ඔට්ටු තබමින් නැටුවේ, මේ රටේ බලශක්ති ඉරණම සමඟය. බලශක්තිය නොමැතිවීම අත්කර දෙන ඛේදජනක ඉරණම සඳහා මාස කිහිපයක් මේ රට මුහුණ දුන්නේය. එහි ප්‍රතිඵලයක් ලෙස රටේ නායකයාට පවා ඉන්න හිටින්නට නොහැකි තත්ත්වයක් උදා විය. පැය ගණනාවක් කරන්ට් කපන රටේ, කර්මාන්ත සහ සාමාන්‍ය ජන ජීවිතවලට අත්වන ඉරණම රසවිඳීම රිසිවූ පිරිස, අප්‍රියජනකගේ පැත්ත ගත්තේය. වහා ගිනි ඇවිළෙන සුළු හෙයින්, බලශක්ති අර්බුදය දේශපාලන වශයෙන් සමහරුන්ට රසවත් විය. ඒ නිසා ඔවුහු අප්‍රියජනකගේ පාර්ශ්වය නියෝජනය කළහ. මේ නියෝජනය හේතුවෙන් ‘කබ්බා ෆෝම්’ විය. රටට අර්බුදයක් කැඳවූ එකා, ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී දේශපාලන වීරයෙක් වීම සඳහා මාන බලන්නේ ඊළඟටය. ඔය ජාතිය ‘අත්තේ නග්ගා’ යට සිට අත්පුඩි ගැසිය හැක්කේය. වෙන දේශපාලන වැඩක් නැති විට, ඒවා ‘ෆන් තමයි’ය. එහෙම වුණාට ඒ යෝධයා අත්ත සමඟ කඩාගෙන වැටෙන්නේ, අත්පුඩි ගසමින් යට සිට ෆන් ගන්නා ‘ගැන්සියේ’ ඔළුවටය. එහෙම වෙලාවට එය රටටම ෆන් එකක් වන්නේය. මේ නිසා, අප්‍රියජනක වැන්නෝ, ඉරේ තබාගත යුත්තෝ මිස, සීමාවට එහා ගෙන යායුත්තෝ නොවෙති.

දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති කිතලගම සිරි සීලාලංකාර හිමියෝ, එල්ටීටීඊය විසින් ඝාතනය කරන ලද්දේ අද වැනි දිනකය. දුෂ්කර දිවි පෙවතක් බවට උන් වහන්සේගේ මහණවත පත් වන්නේ, සිය ගම්දොරේ ජනතාවගේ බඩගින්න, උන් වහන්සේ වෙත දරා ගත නොහැකි වූ හෙයිනි. ත්‍රස්තයෝ කඩුල්ල පැන ගම්බිම් ආක්‍රමණය කරන කල්හි, ඒ සඳහා මහා බාධක වූයේ, මේ ගම්වැසියෝය. යුද්ධයෙන් මළ සිවිල් වැසියෝ සිහිපත් කිරීමක් පිළිබඳ නිතර කතා ඇසෙන හෙයින්, මේ ජනතාව පිළිබඳ කිසිවෙකු සිහිපත් කළේ නැත. ‘ගමනට බාධාවක් වූ’ ඒ ගම්බිම්, එල්ටීටීඊය තුරන් කරන ලද්දේ කැති, මන්නා, පොරෝ මානගෙනය. ත්‍රස්තවාදය අවසන් වුවද ඒ ගම් බිම් තවම ඛේදවාචකය. සිය වර්ගයාගේ මිනී, බැකෝවෙන් වැළලූ අල්ලපු කැලෑවේ, ඒවා දිරා ගොස් ඇත්තේ නමුදු, තවමත් ඒ මතකය මේ මිනිසුන්ගේ මනසේ නින්නාද වේ. එහි ශේෂයන් ජීවමාන වේ. පොත් බෑගයක් කර දරා පාසල් යන වයසේ දැරියක්, ඩිස්පැන්සරියට දුවන්නේ වයස දෙක තුනේ, දරුවා කිහිල්ලේ ගසාගෙනය. හොරට පෙරන පොට්වල දවස ගෙවීම පිරිමින්ගේ ජීවිකාවය. වගාවක් කළ නොහැක්කේ, අලියා ගම් වදින හෙයින්, තවමත් අලි වැටක් හෝ ඒ පළාතේ ඉදිකර නැති හෙයිනි. එවන් පැල්පත්, අප්‍රිකාවේ ගෝත්‍රිකයන්ට ද හිමි නැත. මේ මිනිස්සු ගැන ලෝකයා දන්නේ නැත. ඒවා තවම පවතින්නේ, මුදා නොගත් කලාප ලෙසය. දරිද්‍රතාව පමණක් නොව අධ්‍යාපනය, සෞඛ්‍ය ආදී සියල්ල ඔවුනට අහිමිය. ඒ අඳෝනාව, මේ රටේ ‘මැද මිදුලට’ ඇසෙන්නේම නැති තරම්ය. කුඹුරු බලන්නට, වැවේ නාන්නට යන තානාපතිලා, මේ ගම් පැත්තක යන්නේ නැත. ඒ අපරාධ සඳහා තමන්ගේ ‘පූර්වජයන්’ ද සම්බන්ධ යැයි, ඔවුනගේ සිත් දෙස් දෙනවා විය හැකිය. මෙහි අනිත් පැත්ත වූවා නම්, කැනඩාවේ අගමැති අද නඟන හඬ කොහොම විය හැකිද...?

එහෙනම් ඒ පැත්ත, එන්ජීඕ රජදහනකි. ඒ දුක ලෝක සම්මානයට පාත්‍ර වනු ඇත්තේය. විදේශගත ශ්‍රී ලාංකික සංවිධාන සහ ගමේ පන්සල හැරුණු කල, ඒ වැසියන් වෙනුවෙන් ‘බලන’ කිසිවෙකු නැත.

මනම්පිටියෙන් එහා මිනිස්සු අවුරුදු ගාණකින් චීවරයක් දැක්කේ, උන් වහන්සේ තුළිනි. ඒ ගම්බිම් අස්වද්දන්න, උන් වහන්සේ ‘වීර කාව්‍යයක්’ විය. ආමන්ත්‍රණය රළු වුවද, නෑයෙකුගේ සුවඳ නැගෙනහිර මිනිස් හදවත් වෙත ඒ කතාවෙන් ගමන් කළහ. “යකුන්නේ අහපල්ල... තොපි මෙච්චරක් කල් ඇඟට වස්තරයක් දාගෙන හිටිය ද? තොපේ කොල්ලෝ කුරුට්ටෝ ඉබාගාතේ යනව. උඹලා ගේන මස් කෑලි හප හපා උන් කාලෙ මැරුව. මේක උඹලගෙ රට. උඹලගෙ මුතුන් මිත්තො තමයි මේ රට හැදුවෙ. ඒ මිනිස්සු අද මැරිල ගිහිල්ල කල්ප කාලාන්තරයක් වෙනවා. ගනිල්ල දැන්වත් කැති පොරොව අතට. අවුරුදු සිය දහස් ගාණක් තිස්සෙ කැලෑ කොළ වැටිල සාර වෙච්ච මහ පොළොවක් තියෙනව. මේවා අස්වද්දපල්ලා. මං මෙහෙම කිවුවට තරහක් මරහක් ගන්න එපා. උඹල මගේ නෑදෑයෝ.”

ඒ හඬින් පිබිදුණු ගම්බිම්, අත දිග හැර, වැඩ කරන්නට ගත්තෝය. පොලොන්නරුවේ සිට පූනානි දක්වාම පිබිදෙන්නට විය. 1995 මැයි 26 වැනි දින උදේ 7.15ට පමණ ත්‍රස්තවාදීන්ගේ වෙඩි වරුසාවකට උන් වහන්සේ, වැසී ගියේය. පන්සලේ පොඩි උන් වහන්සේලාගේ දහවල් දානය සඳහා එළවළු රැගෙන ඒමට කොරටුවට ගොස් ගෙන එන අතරතුර, ඒ අනතුර සිදුවිය. උන් වහන්සේගේ මරණ පරීක්ෂණය සඳහා උදරය ද පළා බලන ලද්දේය. එදා පාතරාසයට ගත් තැම්බූ දෙල් කෑලි දෙක හැර යමක් ඒ කුසේ නොවීය.

ඒ ජනතා මෙහෙවරය. අප්‍රියජනක වන්නෝ කර තබාගෙන යන පිරිස, දැන ගත යුත්තේ, එවැනි දේශපාලන වෙට්ටු දමා, ළඟ නවා බලය ගත නොහැකි බවය. ජනතාවගේ විදුලිය ලැබීමේ අයිතිය සඳහා කටුව ගැසූ ප්‍රමුඛයෙකු වූ අප්‍රියජනක නොවන්නට, මේ රටේ විදුලි ප්‍රශ්නය ඊට මාස හතකට පමණ පෙර විසඳීමට හැකියාව තිබුණි. ආණ්ඩු මට්ටු කිරීම සඳහා අප්‍රියජනක සිදු කළ කල් ඇල්ලීම, මේ රටේ කර්මාන්ත ගණනාවක් පාඩු කළේය. සේවකයෝ ගණනාවකට රැකියාව අහිමි කළහ. එහෙව් එකා කරේ තබාගෙන ඊයේ උජාරුවෙන් ගිය ගමන තව දින කිහිපයකින් බලා ගත හැකිය. මේ අන්ධයාගේ සහ ගොළුවාගේ හිඟා කෑම බඳුය. උන් දෙන්නා අත් අල්ලගෙන පාර දිගේ යන්නේ, එකමුතුව සඳහා නොවේ. එකෙකුට පාර පෙනේ. හිඟමන් යැදිය නොහැකිය. අනිකාට පාර නොපෙනේ. පිනට යමක් ඉල්ලා ගත හැකිය. එසේ නම් දෙදෙනා එකතුවී ‘යමක් කර ගත යුතුය’. ඊයේ සිදු වූයේ ඒ දෙයය.

නව අදහස දක්වන්න